ලැබූ අවස්ථාව අපතේ නොහරිමු

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීම සඳහා විශාල කුසලයක් සිදු කර තිබිය යුතු හෙයින් එය දුර්ලභ කරැණකි . එසේ ඉපදුනද සත්වයන්ගේ දිවි පැවැත්ම හෙවත් ජීවිකාව දුක් සහගතය. බුදු වරයකුගේ උපත දුර්ලභය. එසේම සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම දුර්ලභය. ශ්‍රවණය කරන්නට ලැබුනද එය අවබොධ කරගැනීමට උවමනාව ඇත්තේද දුර්ලභ පිරිසකටය.

සත්වයා අනාදිමත් කාලයක සිට මේ භයානක සසරේ නිරන්තර ගමනෙහි යෙදී සිටී. කලකට දෙවියකු බ්‍රහ්මයකු වීමෙන්ද තවත් වරක ප්‍රේතයකු යකෙකු තිරසනකු හෝ නිරි සතෙකු වීමෙන්ද බොහෝ දුක් විඳිමින් සැප විඳිමින් නොනවතින ගමනක යෙදීසිටින අවස්ථාවක, පෙර කළ කුසලයක බලයෙන් බුදු කෙනෙකුන් උපත ලද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ඇති. ඇස් කන් ආදී ඉන්ඳ්‍රිය පද්ධතීන් නිසි අයුරින් වැඩ කරන, යම් දෙයක් වටහා ගැනීමේ හැකියාව ඇතිව මනුෂ්‍ය ආත්ම භාවයක් ලද මේ අවස්ථාව අපතේ හැරීම ඉතා විශාල අලාභයකි.

එබැවින් ලද මේ අවස්‍ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බෞද්ධයකු වශයෙන් ඔබ සතු යුතුකමකි. අවම තරමින් මෙම ආත්ම භ‍වයේහිදිම ගිහියකු වශයෙන් සෝවාන් බවට පත් වීමටවත් ඉලක්කයක් තබා ගත යුතුයි. අනෙකුත් ගිහි ජීවිතයේ ඇති ඉලක්කයන්ට සාපේක්‍ෂව මෙහි ඇති වටිනාකම පසක් වනුයේ ධර්මය ගැන වැටහීමක් ඇති නුවණැති මනුෂ්‍යයන්ට පමණි අන්‍යන්ට මෙය හුදෙක් මේ භවයේදී කළ නොහැකි සිනහවට කාරණයක් වනු ඇත.

පර්යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක් ඇත. වර්තමානයේ මෙම ශ්‍රී සද්ධ‍ර්මයේ අවස්ථා තුනම පවතී. එබැවින් උත්සාහවත් අයෙකු හට මේවා ශ්‍රවණයෙන් කියවා බැලීමෙන් පිළි පැදී‍මෙන් අරහත් භාවය දක්වාම ගමන් කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළි‍වම පෙනේ.

මනෝරථ පූරණී අටුවාවේ සඳහන් ආකාරයට පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, අනාගාමීන් වශයෙන් වර්ෂ දහසක්ද, සකෘදාගාමීන් ව‍ශයෙන් වර්ෂ දහසක්ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද මෙසේ පන් දහසක් අවුරැදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්වෙයි.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ෂඩ්අභිඥා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ත්‍රිවිද්‍යා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, පෘථග්ජන භික්‍ෂූන් වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සමපසාදනි සූත්‍ර අටුවාවෙහි දැක්වෙයි.

මේ අනුව මනෝරථපූරණියට අනුව වර්තමාන කාලය බහුලව අනාගාමීන් ඇතිවිය හැකි කාලයකි. සමපසාදනියට අනුව ත්‍රිවිද්‍යා ඇති රහතුන් වහන්සේලා බහුලව ඇති වියහැකි කාලයකි. මෙයින් අදහස් වනුයේ උත්සාහ කිරීමෙන් සියළු දුක් කෙලවර කිරීමට භාදාවන් මෙකල නොපවතින බවකි.

පිටකත්‍රය සහිත පර්යාප්ති ධර්මය ලෙහෙසියෙන් ලෝකයෙන් අතුරැදහන් වේයැයි සිතිය නොහැක. තැන තැනක ටික දෙනෙකුන් ලඟ පමණක් මේවා පවතීනම් එසේ සිතිය හැක. එහෙත් බුදු දහම බොහෝ ගම්වල නගරවල රටවල් වල ලොව පුරා පැතිර පවතී. කලින් කලට පැතිර පවතින ප්‍රදේශ අඩු වැඩි වීමක් සිදුවිය හැකි වුවත් වර්ෂ පන්දහසකටත් වඩා දීරිඝ කාලයක් පවතින බව නිසැකවම පැවසිය හැක.

ශ්‍රී සද්ධර්මයේ මූලය පර්යාප්ති ධර්මයයි. බෙහෙත් වට්ටෝරැව ඇති විටක වුවමනා අයෙකුට බෙහෙත සාදාගත හැකි බැවින් බෙහෙත නැති වූයේ ‍යැයි කිවනොහැකිය. බෙහෙත නැති වූයේ යයි කිව හැකි වන්නේ බෙහෙත් වට්ටෝරැව නොහැකි වීමෙන්ය. පතිපත්ති ප්‍රතිවේධ ධර්මයන් ඇති කර ගත හැකි ආකාරය දැක්වෙන පර්යාප්ති ධර්මය පවත්නා තුරැ වුවමනා කෙනෙකුට ප්‍රතිපත්ති හා ප්‍රතිවේධය අතුරැදහන් වුවද නැවත ඇති කර ගත හැකිය. භික්‍ෂු පරම්පරාව අතුරැදහන් වුවහොත් මහණකම හා උපසම්පදාව පමණක් නැවත ඇති කරගත නොහැකි වෙයි.

මාගේ මේ විනය මේ ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා බුදුරජාණන් වහන්සේ විසින් ආඥාවක් පිහිටුවා නැත. භික්‍ෂූන් වහන්සේලා යම් තාක් කල් විනයට අනුකූලව කුල පුත්‍රයන් පැවිදි කරන්නේ නම් උපසම්පදා කරන්නේ නම් එතෙක් සංඝ රත්නය පවතී. බුද්ධ කාලයේ පටන් අද දක්වාම භික්‍ෂූන් වහන්සේලා විසින් එදා පැවති විනයට අනුවම පැවිද්ද හා උපසම්පදාව කර ගෙන පැමිණ ඇති බැවින් අද සිටින භික්‍ෂුන් වහන්සේලා නියම සංඝ රත්නය නොවීමට හේතුවක් නැත. එදා වැඩ විසූ සැරියුත් මුගලන් ආදී මහරහන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ එකම ශ්‍රවක සංඝ රත්නයයි.

භික්‍ෂූන් වහන්සේලා ‍ගේ වේශයෙන් පෙනී සිටින අයගේ වැරදි වැඩ නිසා සමස්ථ සංඝ රත්නය කෙරෙහිම සිත කළ කිරවා ගැනීම නුවණැති අයකුගේ ක්‍රියාවක් නොවේ. ඕනැම පවුලක ගමක නගරයක රටක ආයතනයක සංවිධානයක වැරදි වැඩ කරන්නන් සිටිති. එය පොදුවේ දක්නට ලැබෙන දෙයකි එය බුදු සසුනටත් අදාලය. කළ යුත්තේ ඔවුන්ව සුමඟට ගැනීමට ක්‍රියා කිරීම මිස සසුන අපකීර්තියට පත් කිරීම නොවේ. එසේද කළ නොහැකි නම් කළ යුත්තේ ඔවුන්ට ගෞරව නොදැක්වා සිටීමයි. ගෞරව නොදක්වා සිටීම යනු අගෞරව කිරීම නොවේ. එනම් වැඳිමෙන්, පැමිණෙන විට අසුන් වලින් නැඟිටීම් ආදිය සිදු නොකර තම අප්‍රසාදය පළ කර සිටීමයි. අප්‍රසාදය පෙන්විය යුත්තේ අදාල භික්‍ෂුවට මිස එම භික්‍ෂුව ගැන නරක ආරංචි පැතිර වීමෙන් නොවේ.

සංඝ රත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට අතීතයේ වැඩ විසූ රහතන් වහන්සේලාගේ ජීවිත කතා චරිත කතා කියවා බලන්න. බුදුන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවුණු පොත් පත් සොයා කියවන්න. උන් වහන්සේලා කොතෙක් සිල්වත් ගුණවත් උතුමන් දැයි එවිට අවබෝධයකට පැමිණිය හැකි වෙයි. එවැනි උතුමන් ගෙන් සමන්විත සංඝ රත්නයට අගෞරව කිරීම තමන් වැනි අයෙකුට කෙතරම් සුදුසු දැයි තමාටම එවිට වැටහී යනු ඇත.

බෞද්ධයකු වශයෙන් තමා තුළ ඇති නුගුණ අඩු කර ගනිමින් යහපත් ගුණාංග ජීවිතයට වඩ වඩාත් එකතුකර ගනිමින් අපගේ බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ මෙම වෙසක් දිනයෙහි පටන් අවම වශයෙන් පන්සිල් රැකීමට වත් සියළු දෙනා අධිෂ්ඨාන කර ගනිමු. පන්සිල් වලින් පටන් ගන්නා මේ ගමන තව තවත් උත්සාහයෙන් භාවනා ආදියෙන් දියූණු කර ගනිමින් අවසාන ඉලක්කය වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඔබට හේතු වේවා !!


මිථ්‍යාදෘෂ්ටිය

මරණින් පසු නැවත ඉපදෙන්නෙ නැහැ, පින් පව් කියල දෙයක් නැහැ, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නෙ නැහැ, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක නැහැ, නිවණ කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැත්නම් වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කියල හඳුන්වනව.

1.ගන්නා වූ ආකාරය වැරදි වීම
2. එයම සත්‍යය යි තීරණය කර ගැනීම

යන කරැණු දෙකෙන් මෙම අකුසලය සිදුවෙනව. මේක අනිත් සියල්ලටම වඩා ටිකක් බරපතල අකුසල් සිදුවන එකක්. මොකද අනිත් සියළු අකුසල් මේ අකුසලය නිසා සිදුවෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටි බොහෝ සංඛාවක් තියනව ඒත් ඒවා‍යින් බරපතල අකුසල් සිදුවෙන්නෙ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන්. විසිආකාරයකින් ඇති සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන හැට දෙකක් වූ දෘෂ්ටීන් වලින් එතරමි අකුසල් සිදුවෙන්නෙ නැහැ. දරැණුම දෘෂ්ටි ගැන විස්තර දාන්නම් අනිත් ඒව දැන ගන්න ආස අය අදාල සූත්‍ර කියවල දැන ගන්න. ඒව කියවන කොට තේරෙයි බුදුන් වහන්සෙ මොනතරම් දේවල් ගැන දැනගෙන හිටියද කියල.

1.නාස්තික දෘෂ්ටිය

දන් දීමෙන් වැඩක් නැහැ. පූජා කිරීමෙන් වැඩක් නැහැ. පුද පඬුරැ යැවීමෙන් වැඩක් නැහැ. පින පව් වල ඵල විපාක නැහැ.පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ. මවට කරන හොඳ නරක වල විපාක නැහැ පියාට කරන හොඳ නරක වල විපාක නැහැ. මැරැණට පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැහැ. ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් බුදු කෙනෙක් පහල වන්නේ නැහැ. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. සත්වයා මැරැණ විට ශරීරය සතරමහා භූතයන්ට ම එනම් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස්වලටම එකතුවෙනව. ඉන්ද්‍රයන් අහසට යනව. අසවලා දායකයෙක් අසවලා මසුරෙක් දුශ්ශී‍ලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නොපෙනීයනව. ඇට පරවි පියාපත් පැහැ වෙනව. දාන පූජා ආදිය අළු වීම කෙලවර කොට පවතිනව. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. කවුරැහරි දානයෙන් ප්‍රතිඵලයක් තියනව කියල කියනවනම් ඒ කීම හිස් දෙයක් බොරැවක් නන් දෙඩවිල්ලක්. පණ්ඩිත අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශවෙලා යනව ආයත් ඉපදෙන්නෙ නැහැ. මේ අජිත නම් වූ තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටියයි.

2.අහේතුක දෘෂ්ටිය

සත්වයන්ගේ කෙලෙස් ඇතිවීමට හේතුවක‍් හෝ ප්‍රත්‍යයක් හෝ නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනව. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනව. සත්වයින්ට ඒ ඒ කුඩා විශාල වු ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියමවූ එක්තරා ක්‍රමයක් තියනව. ඒ ක්‍රමයට අනුව තමා මොඩයොයි පණ්ඩිතයොයි යන ‍හැම දෙනාම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන සීල භාවනා වැනි පින්වල බලයෙන් හරි තපස් රැකීමෙන් ඇතිකරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවල දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිල විශේෂ සැපයක් ලබන්න බැහැ. මොනව කලත් නියම කාලය එනකල් දුක් කෙලවර කරල පරම සැපයකට එන්න කාටවත් බැහැ. පින් කරන නොකරන පණ්ඩිත අපණ්ඩිත සියලුදෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරි සරල අන්තිමට දුක කෙලවර කරනව. මේක මක්ඛලී ගෝසාල කියන තීර්ථකයගෙ දෘෂ්ටිය.

3.අක්‍රිය දෘෂ්ටිය

තමන් විසින්ම පව් කරන කෙනාටත්, අනුන් ලවා පව් කරවන කෙනාටත්, අනුන්ගේ අත පය ආදිය කපා කොටා දාන කෙනාටත්, එසේ කිරිමට නියම කරන කෙනාටත්, දඬු මුගුරැ ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන අයටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන අයටත්, ආහාර නොදිම සිරකර තැබීම් ආදියෙන් අනුන්ට පීඩා කරමින් තමාද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරැකියන යනාදී ලෙස ඕනෑකමින්ම පව් කරන කෙනාටත් සිදුවන අකුසලයක් නැහැ. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැහැ. මේ පූර්ණ කාශ්‍යපගේ දෘෂ්‍ටියයි


මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්

"මහ‍ණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය" යනුවෙන් බුදුන් වහන්සේ පවසල තියනව.

මේක දේශනා කරල තියෙන්නෙ කර්ම කර්ම ඵල දෙක ප්‍රතික්‍ෂ්ප කරන නාස්තික අහේතුක අක්‍රිය කියන දෘෂ්ටි වලටයි. ඒ දෘෂ්ටි වලින් කුමන දෘෂ්ටියක් ගත්ත කෙනෙකුට වුනත් ඒක අතහැර ගත්තෙ නැත්නම් මරණින් පස්සෙ සුගතියකට යන්න නම් වෙන්නෙ නැහැ නිවන් දකින්නත් බැහැ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කරනව. ඒ දෘෂ්ටි ගත්ත කෙනා මරණය දක්වාම එය අත් හරින්නෙ නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ඉපදෙන්නෙ නරකයෙ. ඒක හින්ද ඒවට කියනව නියත මිථ්‍යාදෘෂ්ටි කියල. මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළ‍ඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව. ආනන්තර්‍ය්‍ය කර්ම කරපු අය කල්ප අවසානයේදී නරකයෙන් මිදෙනව ඒත් නියත මිත්‍යදෘෂ්ටිය ගත්ත අය ලොකය විනාශවෙන වෙලාවෙදි වෙනත් ලෝකයක නරකයකට පැමිණිලා විපාක විඳින්න පටන්ගන්නව. එසේ සිදුවන විපාක වල අවසානය ගැන නිශ්චිතව කියන්න බැහැ.

ගොඩක් අය මිථ්‍යාදෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරැ කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අනිත් අයටත් රසවත් කරල පෙන්නල මෝඩ අයව ඒ දෘෂ්ටියට ඇදල ගන්නව. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙක්ව මිථ්‍යදෘෂ්ටිකය‍කු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැහැ. ධර්මයෙන් ඈත්ව වාසය කරන අය මේ අයගෙ උගුල්වලට ලේසියෙන් අහුවෙනව. ඇයි ධර්මය හරියට දන්නෙ නැහැනෙ ඉතින් කියන ඕනෙ එකක් ධර්මයට ගලපල බලන්නෙ නැතිව පිළිගන්නව. මිසදිටු අ‍යගෙ දේශන වලට සවන් දීමෙන් ඔවුන‍්ගේ පොත් පත් විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ ‍කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙලා අකුසල් සිද්ධ කර ගන්නව.

මිථ්‍යා අදහස් තියන අයගෙන් ඈත් විම. ධර්මය නොවන වල්පල් කතා කරන ධර්ම සාකච්ඡා ආදියට සහභාගි නොවීම. ධර්මය ගැන නිවැරදි අවබෝධ‍යක් ඇති අය ඇසුරැ කිරීම. ධර්මයේ අපහැදිලි තැන් ඔවුන්ගෙන් අසා නිවැරදි කර ගැනීම. දහම් පොත පත කියැවීම. තමාව ප්‍රාණඝාත අදත්තාදාන ආදී කොට ඇති දස අකුසලයෙන් මුදවා යහ මඟ පෙන්වා දෙන සත්පුරැෂයන් නිතර ඇසුරැ කිරීම ආදියෙන් මිථ්‍යා දෘෂ්ටි අකුසලයෙන් වැලකී සිටිය හැකිවෙයි. අසත් පුරැෂයින් හෙවත් මිත්‍යා දෘෂ්ටි ගත් තනැත්තන් විසින් අපව අයහපතෙ‍හි යෙදවීමට තැත් කිරීමේදී, එයින් වැලකීසිටිමට ශක්තිය ‍ධෛර්යය සිදු කරගත් කුසලයන් ගෙන් ලැ‍බේවා කියල ආගමික වතාවත් වලදි පවසන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය බලවත් අකුසලයක් වන හින්දයි.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමා‍ගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

මාවිසින් සිදු කරන ලද්දාවූ මේ ආමිසවූද, ප්‍රතිපත්තිමය වූද පුණ්‍ය කර්මයන් කරන කොට ගෙන මෙතැන් පටන් නිවන් දක්නා තුරැම අසත්පුරැෂයන් ඇසුරැ කිරීමට නොලැබේ‍වා! සත්පුරැෂ කල්‍යාන මිත්‍ර සේවනයම ලැබේවා!






ව්‍යාපාදය

අන්‍යයන් විනාශවේවා යයි සිතීම ව්‍යාපාදය කියල හඳුන්වනව. මේක බොහෝ වෙලාවට ඊෂ්‍යාවත් එක්ක ඇතිවන අකුසලයක්. තවකෙනෙක් මිය ගියහම එයාගෙ දේපල වස්තුව තමාට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එම පුද්ගලයා විනාශවේවා කියල හිතන අය ඉන්නව. එහෙම හිතන කෙනාගෙ ව්‍යපාදය ඇතිවෙන්නෙ ලෝභය හින්ද. සමහර අවස්ථාවල තමන්ට කරදර කරන අය නැසෙත්වා කියල හිතන අය ඉන්නව ඒහෙම හිතන්නෙ ද්වේශය හින්දයි.

ව්‍යාපාදය සිදුවෙන්න නම් කරැණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1.විනාශ විය යුතු සත්වයකු ‍සිටිම පළමුවැන්නයි
2. එම සත්වයා විනාශවිය යුතු බව සිතීම දෙවැන්නයි

යම්කිසි කෙනෙක් ගැන කේන්තියක් ඇතිවුන පමණින් ව්‍යාපාද අකුසලය සිදු වනේනෙ නැහැ. ඒත් ඒ තැනැත්තා විනාශ වේවා කියල හිතුවොත් නම් ව්‍යාපාදය සිදුවෙනව. ඒකෙන් කියන්නෙ "අනේ මේක හිටියට වඩා හොඳයි මැරිල ගියානම්" , " ඕකව පණ පිටින් ඉතුරැ කරන්න වටින්නෙ නහැ" ," කරපු අපරාදෙට හෙන හතම ගහන්න ඕනෙ" වගේ අදහස් පහළවීම මෙම අකුසලයට අයත් වෙනව කියන එකයි. මෙම අකුසලයේ කුඩා විශාල බව සහ විපාක ලැබී‍ම පරැෂ වචනවලදී සඳහන් කරන ලද දේවල් වලටම සමානයි. ව්‍යාපාදයෙන් වැලකෙන්න නම් සියළු සත්‍වයින් කෙරෙහි මෛත්‍රියෙන් සිටිය යුතුයි.


අභිද්‍යාව

අනිත් අයගෙ සම්පත් දැකල ඒවා තමන්ට ලැබේවා කියල ප්‍රාර්ථනා කිරීම මෙන්ම අනුන්ට අයිති දේ තමාට අයිති කර ගැනීමට සිතීම අභිද්‍යාව කියල හඳුන්වනව.

තමන්ගේ දේවල් වලට වුනත් ඕනෙවට වඩා ලෝභ කිරීම, හොඳ නැති දෙයක් කියලයි බුදුන් ව‍හන්සේ දේශනා කලේ. මොකද ඕනෙවට වඩා දේවල් ගැන ආසාව ඇතිකර ගත්තම ඒව නැති වුනහම, විනාශයට පත් වුනහම දුකට පත්වෙන්න වෙනව. ඉතින් අනුන්ගෙ දේවල් ගැන ලෝභ කරන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. අනුන්ගේ සම්පත් වලට ඇති ආශාව පමණ ඉක්මවා ඇතිකර ගත්තහම ඒක අභිද්‍යා අකුසලයට අයත් වෙනව. අදත්තාදාන හා කාමමිථ්‍යාචාර අකුසලයන් සිදුකරන අවස්ථාවලදී ඒවා සිදු කරන්න කලින් ‍මුලින්ම ඇතිවන අකුසලය අභිද්‍යාවයි. ඒ‍කියන්නෙ අහිද්‍යාව නිසා සොරකම් කරනව. අභිද්‍යාව හින්ද පරදාර සේවනයෙහි ‍යෙදෙනව. දූ කෙලිය එනම් ඔට්ටු ඇල්ලීම් වගේ දේවල් කරන්නට පෙළඹීමටත් මේ අකුසලය බලපානව.

අනිත් ඒ‍වට වගේම මේ අකුසලය සිදුවෙන්නත් යම් යම් අවශ්‍යතා සම්පූර්ණ විය යුතුයි. මෙහිදී ඒ සඳහාකරැණු දෙකක් බලපානව.

1. ආස කරන ‍දේ අනුන් සතු දෙයක් වෙන්න ඕනෙ
2. ඒ අනුන් සතු දේ තමා සතු කරගන්න ඕනෙ කියල සිතුවිල්ලක් ඇතිකර ගන්න ඕනෙ.


අනුන් සතුව තියන යම් කිසි දෙයක් දැකල "මේක කොච්චර ෂෝක් ද" කියල හිතුවට අකුසල් සිදුවෙන්නෙ ‍නැහැ. මාත් මේ වගේම එකක් ගන්න ඕනෙ නැත්නම් හදව ගන්න ඕනෙ කියල හිතුවටත් අභිද්‍යාව සිදුවෙන්නෙ නැහැ. ‍"අනේ මට මෙයාගෙ දේවල්මයි ඕනෙ" කියල හිතුවොත් හරි, "මේක මට තිබුනනම් කොච්චර හොඳද" කියල හරි, "මට මේක අයිති වේවා!" කියල හරි හිතපු ගමන් අභිද්‍යා අකුසලය සිදුවෙනව. මේක භාණ්‍ඩ ගැන විතරක්ම නෙමෙයි පුද්ගලයන් හා සතුන් සම්බන්ධවත් ඒකසේම බලපානව. ඉතින් ඒක හින්ද පරිස්සමින් "අනේ අරයට ඉන්න කෙනා මට හිටියනම් කොචර හොඳද" වගේ දේවල් හිතන්න එපා. ඒ වෙනුවට "එයාට ඉන්න කෙනාටත් වඩා හොඳ කෙනෙක්ව මම හොයාගන්නව" කියල හිතන්න. මේ අකුසලයෙ විපාක අදත්තාදාන අකුසලයේ විපාක වලට සමානයි. නැවත නැවත ඒව ලියන්න ගියහම ලිපිය දික්වෙන හින්ද ඒව දාන්නෙ නැහැ. මේක ලියනකොට මතක්වුනා කියමනක් මට මතක නැහැ ඒක කවුද කිව්වෙ කියල මේකට අදාල වෙන හින්ද ඒක දාන්නම්

"අපට වුමනා කවර දෙයක් වුවද ලබාගැනීමේ අව්‍යාජම ක්‍රමය නම් එය වෙනත් කෙනෙකුගෙන් පැහැර ගැනීම නොව අපම එය නිර්මාණය කර ගැනීමයි"


සම්ඵප්‍රලාප

යම් කිසි කතාවක් එය කියන තැනැත්තගෙ හෝ අහන අයගේ මෙලොව පරලොව යහපතට හේතු වෙන්නෙ නැත්නම්. හුදෙක් කෙලෙස් වැඩීමටත් යම් කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකරැණේ ගෙවී යාමක් පමණක් සිදුවෙනවනම් ඒ කතාව සම්ඵප්‍රලාප කියල හඳුන්වනව.

සම්ඵප්‍රලාප අකුසලය සිදුවීමට බලපාන්නෙ කරැණු දෙකයි.

1.අසන හා කියන දෙපක්‍ෂයටම වැඩක් නැති කතාවක් කීමේ සිතුවිල්ල
2.එවැනි කතාවක් කීම

සම්ඵප්‍රලාප කියන කෙනා තමන්ගේ කාලය නාස්ති කරනව විතරක් නෙමෙයි අනිත් අයට වෙනත් හොඳවැඩක් කරන්න තියන කාලයත් නාස්ති කරනව. ඒ විතරක් නෙමෙයි සමහර කතා නිසා අහගෙන ඉන්න අයගෙ කෙලෙස් ඇවිස්සීමෙන් ඒ අයව තවත් අකුසල් කරන්න පොළඹවනව. ඒ හින්ද සම්ඵප්‍රලා‍පයෙන් වැ‍ලකෙන්න කියල බුදුන් වහන්සේ දක්වල තියනව.

තැන් තැන් වල කල්ලි ගැහිල කරන අනවශ්‍ය විහිළු තහළු වලින් යුක්ත කතා මෙන්ම අහන කියන කාටවත් ප්‍රයෝජනයක් නැති ඇත්ත බොරැ මිශ්‍ර කරල කියන කතාත්. නරියගෙයි හාවගෙයි කතා, ඇම්ඩන්ගෙ කතා ආදියත් , කිසිදු ප්‍රතිජනනාත්මක අදහස් නැති දේශපාලය පිළිබඳ කතා මෙන්ම රාම රාවනා වැනි ප්‍රබන්ධාත්මක කතාත් සම්ඵප්‍රලාප ගණයට අයත් වෙනව. යම් කිසි උපදේශයක් ඉගැන්වීමට ප්‍රබන්ධ කරන ලද කතා අසත්‍ය වුනත් ප්‍රයෝජනයක් තිබෙන හින්ද ප්‍රලාප වලට අයිති වෙන්නෙ නැහැ.

කියන ලද ප්‍රලාප අනිත් අය පිළිගත්තොත් අකුසලය විශාලයි. පිළිගත්තෙ නැත්නම් කුඩා අකුසලයක් වෙන්නෙ. සාමාන්‍යයෙන් සම්ඵප්‍රලාප හින්ද සිදුවන අකුසල් විශාල නැහැ ඒත් නැවත නැවත වර්ණනා කර කර රසවත් කර කර කියන්න ගියොත් නම් වැඩි අකුසලයක් සිදුකර ගන්නව. අහන කෙනා ඒව අහල සිදුකරගන්න අවැඩවල් වල හැටියටත් මෙයින් සිදුවන අකුසල් ප්‍රමාණය වෙනස් වෙනව. විශාල අකුසල් සිදු නොවෙන හින්ද මුසාවාදයෙ තරම් විපාක ලැබෙන්නෙ නැහැ මේකෙන්.

පරැෂ වචනය

අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරැෂ වචනය වශයෙන් හඳුන්වනව. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනව.

1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි

ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරැෂ වචන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරැෂ වචන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.

ආක්‍රෝශ කිරීමේ ආකාර දහය

අ‍ක්‍රෝශ කිරී‍මේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.

1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.

පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.

2. නාමයෙන් අක්‍රෝශ කිරීම.

ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් ති‍යන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.

3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.

ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.

4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.

ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.

5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.

වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.

6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.

යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.

7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.

කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව

8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.

පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.

9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.

කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.

10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.

ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.


පරැෂ වච‍නයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.


ගුණවත් අයට පරැෂ වචනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.


පිශුන වචනය හෙවත් කේලාම්


යම් වචනයක් කියු විට අහන කෙනාට තමාව ප්‍රිය අයකු වෙලා වෙනත් කෙනෙකු අප්‍රිය අයකු බවට පත්වෙනවනම් එම වචනය පිශුනවචනයක් කියල හඳුන්වනව. තවත් ක්‍රමයකට කිව්වොත් සමඟියෙන් ඉන්න දෙන්නෙක්ව වෙන් කිරීම සඳහා කියන වචන පිශුන වචන හෙවත් කේලාම් කියල හඳුන්වනව.

පිශුන වචනයෙන් අකුසල් සිදුවෙන්න කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනෙ

1. භේද කළ යුතු අයෙක් සිටීම
2. එම පුද්ගලයා සමඟ තවත් අයෙකුව භේද කිරීමේ අදහස ඇතිවීම
3. භේද කිරීම පිණිස යම් කිසිවක් කීම
4. ඇසූ තැනැත්තා විසින් එය තේරැම් ගැනීම

අනුන්ව බිඳවන්න කියන වචන සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. යම් කිසි සත්‍ය කරැණක් වුනත් අනුන් බිඳවීමේ අදහසක් නැතිව කෙනෙකුට වෙන්න පුළුවන් අන්තරායකින් මුදවාගැනීම සඳහා පැවසීමෙන් එයින් දෙදෙනෙකුගේ බිඳිමක් සිදු වුනත් කියපු කෙනාට කේලාම් කීමේ අකුසලය සිදු වෙන්නෙ නැහැ. ඒත් සත්‍ය කරැණක් වුනත් බිඳවන අදහසින් කියන කෙ‍නාට අකුසලය සිදුවෙනව. කේලමක් කියූ පසු අදාල පුද්ගලයන් දෙදෙනා අතර භේද වීමක් සිදු වුනේ නැත්නම් ඒක සාමාන්‍ය අකුසලයක් බවට පත් වෙනව. භේද වුනොත් එය මහා අකුසලයක් බවට පත් වෙනව.

කේලාම් කීමේ අකුසලයේ කුඩා විශාල බව

බිඳවනු ලැබුයේ සීලයෙන් ගුණයෙන් හීන අය නම් කුඩා අකුසලයක් සිදුවෙන්නෙ. ගුණවත් අයව බිඳවීමෙන් විශාල අකුසල් සිදුවේ. සත්‍ය කරැණු කියා බිඳවීම මගින් මඳ අකුසලයක්ද අමුතුවෙන් බොරැ ගොතා කීමෙන් විශාල අකුසල් ප්‍රමාණයක්ද හිමිවෙනව. කේලාම් කීමට හේතුවුන කෙලෙස්වල තියුණු බව මඳ බව අනුවද සිදු වන අකුසල් ප්‍රමාණය වෙනස් වෙනව. කේලාම් කීමේ විපාක කලින් සඳහන් කළ මුසාවාදයේ විපාකයන්ට සමානයි.