කාමමිථ්‍යාචාරය යනු කුමක්ද?


කාමමිථ්‍යචාරය යනු කාමයෙහි වරදවා හැසිරීමයි. එනම් ලෝකචාරිත්‍රයට සදාචාරයට අනුකූල නොවන පරිදි කාමයෙහි හැසිරීම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මෙයින් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ලිංගික හැඟිම් කිසියම් පාලයනයකින් යුතුව සදාචාර සම්පන්නව භාවිත කිරීමයි. ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. තමන්ව ආරක්ෂා කරන පිරිමියකු සිටිත්දී වෙනත් පිරිමින් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. හිමියෙකු නොමැති මව් පිය ‍සහෝදරාදීන් රකින ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරැෂයින්ට පමණක් කාමමිථාචාර අකුසලය සිදුවෙනව. ස්වාමියකු විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සමඟ කාමයෙහි වරදවා හැසිරීමෙන් දෙදෙනාටම අකුසල් සිදුවෙනව.

කාමමිථ්‍යාචාරය සිදුවීමට පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ

1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

අනුන් ලවා ප්‍රාණඝාතඅකුසලය සිදුකරවන විට එය කරන හා කරවන දෙදෙනාටම අකුසලය සිදු වුවත් මෙහිදී අනුන් ලවා කරවන තැනැත්තාට අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. වෙනත් කෙනෙකුගේ තර්ජනයක් නිසා සිදු කලත්, කරන කෙනාට මිසක් තර්ජනය කළ තැනැත්තාට කාමමිථ්‍යාචාර අකුසලය සිදු වෙන්නෙ නැහැ.

කාමමිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

සිල්වත් ගුණවත් අය සමඟ මිථ්‍යාචාරයේ යෙදීමෙන් වැඩි වශයෙන් අකුසල් ‍සිදුවෙයි. ගුණ රහිත අය සමඟ යෙදීමෙන් අල්ප වශයෙන් අකුසල් සිදුවෙයි. සිල්වත් අය දූෂණයෙන් විශාල අකුසල් සිදුවෙයි. ගුණ හීනයන් සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදෙත්දී බලෙන් යෙදීමෙන් සිදුවන අකුසල් ප්‍ර‍මාණය වැඩියි. දෙදෙනාගේම කැමැත්තෙන් සිදු වනවිට අඩුයි. දෙදෙනාගේ කැමැත්ත යටතේ සිදු වුනත් ඇතිවන කෙලෙස් වල ප්‍රමාණය හා කෲර ලෙස යෙදීම මෘදු ලෙස යෙදීම ව‍‍ශයෙන් සැලකීමෙන් ලැබෙන අකුස‍ලය අඩු වැඩි වෙනව.

කාමමිථ්‍යාචාරයේ විපාක

මෙලොවදී කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නන් සමාජයේ නින්දාවට ලක්වෙනව. සමහර අවස්ථාවලදී අනුන්ගේ පහරදීම් වලට පවා ලක් වෙන්න පුළුවන්. එවැනි කඩු පොලු කිණිසි වලින් පහරදීම් වලින් වෙඩි තැබීම් වලින් මරණයට පත් වෙන්න වුනත් සිදුවිය හැකියි. දූෂණ චෝදනා වලින් හිර ගෙවල් වල ලගින්න සිදුවිය හැකියි. මරණෙන් පසුව අපාගත වෙනව. විශාල කාලයක් අපායේ දුක් විඳින්නට සිදුවෙනව. අ‍පායෙන් මිදී නැවත වෙනත් තැනක උපදීන අවස්ථාවල බොහෝ දුක් විඳල තමයි ඉපදෙන්නෙ. මිනිසත් බව ලැබුවත් නපුංසකයෙක් බවට පත් වෙනව. පිරිමියකු වෙලා හිටපු අය ගැහැණුවෙලා උපදිනව ගැහැණු අය ස්ත්‍රී භාවයෙන් මිදෙන්නෙ නැහැ. විරෑප ශරීරයක් ලබනව මිනිසුන්ට අප්‍රිය වෙනව. තමාට සිටින සතුරන් ප්‍රමාණය වැඩි වෙනව. සැම විටම දරැණු රෝග වලින් පෙළෙන්නන් බවට පත්වෙනව.





4 Response to "කාමමිථ්‍යාචාරය යනු කුමක්ද?"

Post a Comment