කර්මය තවත් සවිස්තරව දැනගනිමු

සත්වයා කියන්නෙ කුසලාකුශල විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්. අප විසින් ‍සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන් අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින් සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන් වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව, විපාක දෙන අවස්ථාව අනුව, විපාක දෙන කාල අනුව, විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න පුළුවන්

කාර්යය අනුව එනම් කෘත්‍ය අනුව කර්මය කොටස් 4 යි.

1.ජනක කර්මය.

මරණින් පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක කර්මයයි. අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති වුනත්, ජනක කර්මයක් ‍හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත් වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත් හැකියාවක් තියනව.

සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම් කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි. එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.

කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද?

කර්ම නිමිති හරි ගති නිමිති හරි ‍පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය (සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.

කර්ම නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.

නිදසුන් වලින් කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට තමා කරපු පින් දහම්, දන් දීපු දේවල්, පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන් කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් (Near death experience ) වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි දේවල් ගැනයි.

මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්, සමහර අයට පැය ගණනක් කල් ඇතුව වැටහෙනව, තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න කෙනෙක්ව සුගතියකට යවන්න, යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන් උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු නොවන අවස්ථා වලදි විතරයි.

ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක් කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින් මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන එක. හැ‍බැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ‍මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.

මරණාසන්න වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ අපිව දාල යන්න එපා කියල" කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම් නොකිරීමට අපි වග බලා ගන්න ‍ඕනෙ.

2.උපස්තම්භක කර්මය.

කුශල හෝ අකුශල හෝ කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට තරම් බලවත් නොවූ කර්මත්, ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක කර්මත්, වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත් වෙනව.


අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින් කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.

3.උපපීඩක කර්මය.

නොයෙකුත් රෝග ඇතිකිරීම, තනතුරැ වලින් පහළට ඇද වැට්ටවීම, නෑ මිතුරන් නැති කිරීම, සොර සතුරු කරදර ඇති කිරීම ආදී දේවල් වලින් වරින් වර පීඩා කරන කර්ම උපපීඩක කර්ම කියල හඳුන්වනව. මෙහිදීත් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට සමත් නොවූ දුර්වල කර්ම, ප්‍රතිසන්ධියක් ඇති නොකළ ජනක කර්ම, වරක් ප්‍රතිසන්ධි ඇතිකළ ජනක කර්ම ආදිය උපපීඩක කර්ම වශයෙන් විපාක දෙන්න ගන්නව. උපපීඩක කර්මයෙන් කරන්නෙ බලවත්ව තියෙන කර්ම දුබල කිරීමයි. ඒක කුසල අකුසල කියන කර්ම දෙකටම එක ලෙස බලපානව. බලවත් අකුසලයක් කරපු කෙනෙක් ඒ අකුසලයක විරුද්ධ වූ කුසල් බොහෝ ගණනක් කළ විට පසුව කරපු කුසල කර්ම හින්ද අර බලවත් අකුසලය දුබල වෙනව. අපල වලට බෝධි පූජා ආදිය කරන්න කියල කියන්නේ මේ වාසිය ලබාගන්න හින්දයි. ඇත්තටම අපල කියල කියන්නෙ අප විසින් කලින් කරපු අකුසල කර්මයන්. ඒව උත්සාහයෙන් බුද්ධියෙන් වෙනස් කරගන්න පුළුවන් කියන එ‍කයි මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ වුනේ. මේකෙන් අදහස් කරන්නෙ නැහැ පව් කර කර බෝධි පූජා තිබ්බම අකුසල් නසන්න පුළුවන් කියල. පුළුවන් වෙන්නෙ විපාකය අඩු කරගන්න විතරයි. ඒකට හේතුව උපපීඩක කර්මයෙන් අකුසල කර්මයේ බලය අඩු කරන හින්දයි.

4.උපඝාතක කර්මය.

ජනක කර්මයක විපාක පරම්පරාව එනම් උපන් සත්වයා ගේ ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය ලෙස හඳුන්වනව. බුදුන් වහන්සේට රහතුන් වහන්සේලාට මාපියන්ට ගුරුවරුන් ආදී ගුණවත් අයට කරන අපරාධ උපඝාතක කර්ම බවට පත්වෙනව. ප්‍රතිසන්ධිය ලබා දෙන අවස්ථාවලදි මෙම උපඝාතක කර්ම ජනක කර්ම බවට පරිවර්තනය වෙනව. ඉපදුන කෙනාට වැඩි කාලයක් ආයුෂ ගෙවීමට ඉඩ නොදීම මෙම කර්මය විසින් සිදු කරනව. උපච්ඡේදක කර්මය කියලත් මේ උපඝාතක කර්මය හඳුන්වන අවස්ථා තියනව. සමහර උපඝාතක කර්ම ජීවිතය විනාශ කරල නැවත උප්පත්තියක් ලබල දීමටත් ක්‍රියා කරනව. ඒවගෙම ජීවිතය විනාශ කිරීම විතරක් සිදු කරන අවස්ථාත් තියනව ඒ අවස්ථාවල උපඝාතක කර්ම උපච්ඡේදක කර්ම ලෙස හඳුන්වනව. නරකයක ඉපදිල ඉන්න වෙලාවක කළ පින් සිහිවෙලා සුගතියක උපද්දවීමත් ප්‍රේත ලොවක සිටින අයෙකු ඤාතීන්ගේ පින් අනුමෝදන් වීමෙන් සුගති ගතවීමටත් උපඝාතක කර්මය බලපාන්න පුළුවන්.ඒ උපඝාතක කර්මය යහපතට බලපාන අවස්ථායි.

විපාක දෙන අවස්ථාව අනුව සැළකීමෙන් කර්මය කොටස් 4 ට බෙදිය හැකියි.

1.ගරු කර්මය.

මරණින් පස්සෙ දෙවන ජාතියේදී නොවරදවාම විපාක දීමට ශක්තිය තියෙන අතිශයින් බලවත් කර්ම ගරු කර්ම ලෙස හඳුන්වනව. ආනන්තරිය කර්ම පහ (මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇ‍‍‍ඟේ ලේ සෙලවීම, සංඝයා භේද කරවීම) අකුසල පක්‍ෂයේ ගරු කර්ම වෙනව. රූපාචර (ප්‍රථම දුතිය තතිය චතුර්ථ) ධ්‍යාන , අරූපාචර (ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) ධ්‍යාන කුසල පක්‍ෂයේ ගරු කර්ම ලෙස සලකනව.

2.ආසන්න කර්මය.

මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද ‍සිහි කරන ලද කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව. ගරු කර්මයක් නැති අයට ආසන්න කර්මය පළමුවෙන් විපාක දෙනව. බොහෝ පින් කරපු අය සමහර අවස්ථාවලදී දුගතියට යන්නේත්, බොහෝ පව් කළ අය සුගතියට යන්නේත් මෙම ආසන්න කර්මයේ බලයෙන්.

3.ආචීර්ණක කර්මය.

දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන් මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව. දිනපතා කරන බුදුන් වැඳිම් භාවනා වැඩීම්, සතියකට වරක් බැගින් කරන ලද අනුනට උපකාර කිරීම් සමාජ සේවා කටයුතු, මාසිකව කරන සිල් සමාදන් වීම්, අවුරැද්දකට වරක් සිදු කළ දානමය පුණ්‍යක්‍රියා ආදිය කුසල පක්‍ෂයෙන් උදාහරන හැටියට දැක්විය හැකියි. අකුසල පක්ෂය ගැන ඉතින් කියල වැඩක් නැහැනෙ ඕන තරම් උදාහරණ තියනවනෙ. ගරු කර්මයක් හරි ආසන්න කර්මයක් හරි නැති තැනැත්තට දෙවන ජාතියේ එනම් මරණයෙන් පසු ජී‍විතයේදී ආචීර්ණ කර්මය විපාක දෙනව.

4.කෘතත්වාත් කර්මය.

ගරුක ආසන්න ආචීර්ණ බවට පත් නොවුනු දුර්වල කර්ම කෘතවාත් කර්ම ලෙස හඳුන්වනව. අවස්ථාවක් ලැබෙන පරිදි ඉඳල හිටල කරපු කර්මත් මේ යටතට ගන්න පුළුවන් ඒව දුබල කර්ම හැටියටයි සලකන්නෙ. ගරැක ආදී කර්ම තුනෙන් විපාක දීමට එක කර්මයක් හරි නැති වෙලාවට විපාක දෙන්නෙ කෘතවාත් කර්මයි.

විපාක දෙන කාල අනුව කර්මය කොටස් 4 කින් යුතුයි.

1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

කරන ලද ආත්ම භ‍වයේදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන් වහ‍න්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව. දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් ‍කර්ම කරන ලද ආත්මයේදීම විපාක දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.

2.උපපජ්ජ වේදනීය කර්ම.

දෙවන ජාතියේදී එනම් මරණින් මතු ජාතියේදී විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම ලෙස හඳුන්වනව.

3. අපරාපරිය වේදනීය කර්ම

කර්මය කරපු ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවස්ථාවක් ලැබුණ ගමන් කවදා හරි විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම නම් වෙනව.

4. අ‍හෝසි කර්ම.

අතීතයේදී විපාක නුදුන් කර්මද මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම හැටියට හඳුන්වනව. අංගුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල් සිදු කළත් එම කර්ම රහත් භාවයට පත්වීම හේතු කොට ගෙන අහෝසි කර්ම බවට පත්වුනා.

විපාක දෙන ස්ථාන අනුව කර්මය ආකාර 4 කි.

1.අකුශලය - සතර අපායේ ප්‍රතිසන්ධි විපාක ලබාදෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

2. කාමාචර කුශලය - මිනිස් ලෝකයේ හා දිව්‍යලෝක හතරේ ප්‍රතිසන්ධි විපාක ලබල දෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

3.රූපාවචර කුශලය - රූපාචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

4.අරූපාවචර කුශලය - අරූපාවචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

ප්‍රතිසන්ධි විපාක කියන්නෙ භවයක ඉපදවීමයි. ප්‍රවෘත්ති විපාක කියන්නෙ ඒ ඒ භවවල ඉපදුනහම ලැබෙන විපාක


Reactions: 


කර්මය

‍ලෝකය විවිධයි විෂමයි.ලෝකයේ වාසය කරන සත්වයන් අතර උස් පහත් බවක් දක්නට තියනව. ලෝකයේ සිටින සත්වයන් අතරින් එක සමාන වූ අය දක්නට ලැබෙන්නෙ නැහැ රෑපයෙන් සමාන වුනත් චරිත වශයෙන් ගත්විට ඒ අය වෙනස්. මේ වෙනසට හේතු රාශියක් ඇතත් ප්‍රධාන වශයෙන් මෙවැනි වෙනස්වීම් වලට හේතුව කර්මය කියලයි බුදු දහමෙ සඳහන් වෙන්නෙ.

තමන්ගේ උස් පහත් බවට හේතුවත් තමන් මයි. තමාව මවන්නේත් තමාමයි. තමාව නසාගන්නෙත් තමාමයි. දෙව්ලොව මවා ගන්නෙත් නිරය මවා ගන්නෙත් තමන්මයි. තමාගේ මැවුම් කරැවාත් ගැලවුම් කරැවාත් තමාමයි. තම තමන්ගේ ක්‍රියානුකූලව හෙවත් කර්මානුරෑපව තම තමාගේ වෙනස තම තමන්ම ඇතිකර ගන්නව. සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙනුවට බොහෝ බල දරමින්, යුක්ති සහගත තත්වයන් හසුරවමින්, පාලනය කරමින්, පවතින්නාවූ කුසල අකුසල කර්ම සමූහයක් එක් එක් සත්වයාට අදෘෂ්‍යමානව බල පවත්වනව. ඇසට නොපෙනෙන නිසා සමහර අය මෙවැන්නක් ඇතැයි කියා පිළිගැනීමක් නැහැ. කාන්දමක ඇති චුම්භක ශක්තිය නොපෙනෙනව වගේම අප තුල තියන කර්ම ශක්තියත් අපට දෘෂ්‍යමාන වෙන්නෙ නැහැ. ඒක මිනිස් චින්තනයට ගෝචරවන්නෙ නැති දෙයක්. ඒකයි බුදු රජාණන් වහන්සේ කියුවෙ කර්ම විෂය අචින්ත්‍යයි කියල.

කර්මය යනු?

කම්ම නැතහොත් කර්ම යන්නෙන් "කිරීම"යන අර්ථය තමයි ලැබෙන්නෙ. බුදුන් වහන්සේ චේතනාව කර්මය වන බව දේශනා කලා (චේතනාහං භික්කවේ කම්මං වදාමි) හුදෙක් චේතනාව පමණක් නෙමෙයි එය සමඟ එකට යෙදුන සියළුම චෛතසිකයන් කර්මය ලෙස සැලකිය යුතු වුනත් චේතනාවම අහිසංස්කරණයේදී එනම් පිළියෙල කිරීමේදී ප්‍රධාන වන බැවින් එයම කර්මය යැයි දෙශනා කළා. මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්.

කර්මවල ඵලය විපාක ලෙස හඳුන්වනව. ගොඩක් දෙනෙක් විපාකයට කර්මය (කරැමය) කියන්න පෙළඹිලා ඉන්නව ඒක වැරදි අදහසක්. කර්මය අඹ ඇටය වගේ විපාකය අඹ ගෙඩිය වගේ. අකුසල කර්ම කුසල කර්ම කියල කර්මය කොටස් දෙකකට වෙන් කරනව. කුසලාකුසල පිළිබඳ හේතු ඵල ධර්මය "කර්මය" කියල අර්ථ දක්වන්නත් පුළුවන්. තමන්ගේ අකුසල කර්මවල විපාකයන් උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරිනම් කරල තිය‍න දේවල් වල හැටියට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනව.

කර්මයට මුලක් තිබේද?

ලෝකයේ තියන අනෙකුත් ධර්ම ස්‍වභාවයන් වගේම කර්මයටත් මුලක්, පටන්ගැන්මක් තිබිය නොහැකියි. උදාහරණයක් ලෙස විදුලි බලය ගුරැත්වාකර්ශණ බලය ආදී බලයන් මෙතැන් සිට නැතිනම් මේ කාලයේ සිට පටන් ගත්ත කියල කාටවත් කියන්න බැහැ. විදුලි බලය වගේ දේවල් විද්‍යාවෙන් සොයාගත්ත වෙන්න පුළුවන් ඒත් සොයා ගන්න කලිනුත් ඒව විශ්වයේ පැවතුනු දේවල්, කර්මයත් ඒවගෙයි. "හේතු ඵල" ධර්මයක මුල් හේතුව සෙවිය නොහැකියි. හේතුව- ඵලයද, ඵලය - හේතුවද වන්නාවූ චක්‍රාකාර වූ ක්‍රියාවලියක පටන්ගැනීම කොතැනකදැයි සෙවිමට නොහැකි වීම මෙයට හේතුවයි.

කර්මය කරන තැනැත්තෙක් සිටීද?

විසුද්ධිමාර්ගයේ සඳහන් වන ආකාරයට කර්මය කරන තැනැත්තෙක් නැහැ. විපාකය විඳින්නෙක්ද නැහැ. ආත්මයක් පුද්ගලයෙක් නොමැති පංචස්කන්ධ ධර්මයන් පමණක් පවතිනව. පරමාර්ථ වශයෙන් බැලී‍මේදී මිනිසෙක් සත්වයෙක් දෙවියෙක් කියා කෙනෙක් නැහැ. එය සම්මුති මාත්‍රයක් පමණයි. මිනිසා,දෙවියා, සත්වයා, යනු කිසියම් ක්‍රියාවලියකට,ගොඩනැංවීමකට කියන්නාවු ‍නමක්. ගඩොල් බදාම උළු ආදියෙන් යුත් යම් ගොඩනැංවීමකට නිවසක් කියල කියනව නමුත් වෙන් වෙන් වශයෙන් ගත් විට එතන නිවසක් නැහැ සත්වයාත් ඒ වගේ. චේතනා නැමති සිතේ හටගන්න චෛතසිකය කර්ම රැස් කරනව. වේදනා නැමති චෛතසිකය සැප දුක විඳිනව. මෙතනදී කළේ සරල විස්තරයක් දීර්ඝව ගැඹුරට මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට අභිධර්මය හැදෑරීමෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

කර්මය පවතින්නේ කොහේද?

කර්මය පවතින තැනක් නැහැ. නමුත් සම්මුති වශයෙන් පංචස්කන්ධය ඇසුරැකරගෙන පවතීයයි පවසන්න පුළුවන්. විපාක දෙන්න හේතු සකස් වුන ගමන් විපාක දෙනව උදාහරණයකින් කියනවනම් සුළං හෝ ගින්න රැස්වී තිබෙන ස්ථානයක් නැහැ එහෙත් නිසි පරිදි හේතු සම්පාදනය වුනහම ගින්න සුළඟ ඇතිවෙනව.

කර්මය හා කර්ම පථය යනු කුමක්ද?

ක්‍රියාව කර්මය ලෙස හඳුන්වනව. දුගතියකට හෝ සුගතියකට යාමට හේතුවන ක්‍රියාව කර්ම පථය ලෙස හඳුන්වනව. සතෙක්ව මරන්න හිතාගෙන තුවක්කුවක් රැගෙන සතා පිටුපස යාම කර්මයක් (ක්‍රියාවක්) සතාට වෙඩිතබා මැරෑවිට එය කර්ම පථයක් වෙනව.

හැම දේම කර්මයෙන්ම සිදු වේද ?

සියළු දේවල් කර්මයෙන් විස්තර කරන්න බැහැ ඒවාට හේතුවන ධර්මතා පහක් තියනව ඒවා නියාම ධර්ම ලෙස හඳුන්වනව. කර්මය එම නියාම ධර්මවලින් එකක් පමණයි. උණ තිබෙන පළාතකට ගිය විට පරිස්සම් නොවුනහොත් උණ හැදෙන්න පුළුවන් මේක කර්මය හින්ද සිදුවුනා කියල කියන්න බැහැ. ඒවගේම දරැවන්ට දෙමව්පියන්ගෙ ආරයෙන් ලැබෙන රැසපුව වැනි දේවල් කර්ම නියාමය නිසා නොව බීජ නියාමය නිසා ලැබෙන දෙයක්.

කර්මය හා ඉරණම කියන්නෙ එකක් නෙමෙයි. ගින්නට අත දැමීමට අපට නිදහස තියනව. අත දැමූ විට පිළිස්සෙන්නේ ඉරණම හේතුවෙන් නොවේ. එවලේ කළ එම ක්‍රියාව හේතුවෙන්. කර්ම කිරීමට හෝ නොකිරීමට අපට නිදහස තියනව. ඒත් ඉඩ ලැබුන ගමන් විපාක විඳින්න සිදුවන බව අමතක නොකළ යුතුයි.


Reactions: 


නියාම ධර්ම ~ Natural Laws

කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.

මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතු‍වෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීම‍ට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද ‍අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වී‍ම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් ‍පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකා‍ර වෙයි.

1.සෘතු නියාම (Law of physical matter)

භෞතික හා රසායනික ක්‍රියා යම් යම් නීතීන් මත ක්‍රියා කරනු ලැබේ. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල් මෙන්ම වතුර පහලට ගැලීම, ගුරැත්වා කර්ශනය, ආකාශ වස්තූන්ගේ රිද්මයානුකූල චලනය, විදුලි බලය, න්‍යෂ්ටික බලය ආදී අජීව ද්‍රව්‍ය තුළ පවතින සෑම බලයක් ම මෙම නියාමයෙන් විස්තර ‍කෙරේ.

2.බීජ නියාම (Law of living matter)

ශාක වල විවිධත්වය, වර්ගය, බෝවීම, ප්‍රමාණය හැඩය ආදී සියළුම විශේෂීය වූ ගති ලක්‍ෂණ පවත්වා ගන්නාවූ නීතීන් සමුදාය බීජ නියාම නම් වෙයි. කුඩා නුග බීජයක ඇති විශාල නුග ගසක් ඇති කරලීමේ ශක්තිය බී‍ජය (හේතුව) දෙස බැලීමෙන් දැකගත නොහැකි වෙයි. නමුත් එය පොළවේ සිටුවීමෙන් පසුව සිදුවන කිසියම් වූ ක්‍රියාවලියක් හේතුකොට ගෙන ලැබෙන මහ ගස (ඵලය) අපට දැකගත හැකිවෙයි. මෙසේ එම ගස සම්බන්ධ හේතුව හා ඵලය අතර ක්‍රියාවලිය විස්තර කරනුයේ මෙම බීජ නියාමය මගිනි.

3.චිත්ත නියාම (Law of Mind)

සිත එයටම විශේෂවූ නීති පද්ධතියක් මත ක්‍රියා කරයි. අනවරත ප්‍රවාහයක් ලෙස නොසිඳී පවත්වා ගැනීමේ හැකියාව සිතේ ඇති එක්තරා නීතියකි. අභිධර්මය පිළිබඳව හැදෑරීම මගින් මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. දැනීම පිළිබඳව (consciousness) හැඟිමක් ඇති කරනුයේ සිතෙනි. වර්තමාන විද්‍යාවට අනුව විස්තර කළ නොහැකි ටෙලිපති ආදී ක්‍රමවේදයන්ද මෙයින් විස්තර කරනු ලැබේ.

4.කම්ම නියාමය (Law of karma)

හිතාමතා යම් ක්‍රියාවක් සිදුකළ විට එයට අනුරෑපව විපාකයන් ලබාදීම මෙම නියාමය නිසා සිදුවෙයි. චේතනාවක් නොමැතිව සිදු වන ක්‍රියාවන් මේ යටතට නොගනී. ඉතා සංකීර්ණ වූ මෙම විෂය මිනිස් චින්තනය ඉක්මවා පවතින්නකි. කර්ම විෂය සිතා නිමාවක් දැකිය නොහැකි වුවත් කර්මය හා කර්ම විපාක පිළිබඳ දැනීමක් ඇතිකරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කම්ම විභංග ආදී සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ මේ සම්බන්ධ ඉගැන්වීම් දැනගත හැකි වෙයි.

5.ධම්ම නියාමය (Law of Special Damma Processes )

මහා පින් ඇති අයගේ පහළවීම නිසා සිදුවන භූචලන, බුදුවරැ දෙනමක් ‍එකවර පහල නොවීම, ශීලය නිසා සමාධිය ඇතිවීම, සෝවාන් පුද්ගලයා අපායාදී නරකාදියේ නූපදීම සහ ඉපදීම ආත්ම හතකට සීමාවීම ආදී ධර්මතාවයන් මේ යටතේ විස්තර කෙරේ ධර්ම නියාමයන්ද තේරැම් ගැනීමට දුෂ්කරය.


Reactions: 


ලැබූ අවස්ථාව අපතේ නොහරිමු

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීම සඳහා විශාල කුසලයක් සිදු කර තිබිය යුතු හෙයින් එය දුර්ලභ කරැණකි . එසේ ඉපදුනද සත්වයන්ගේ දිවි පැවැත්ම හෙවත් ජීවිකාව දුක් සහගතය. බුදු වරයකුගේ උපත දුර්ලභය. එසේම සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම දුර්ලභය. ශ්‍රවණය කරන්නට ලැබුනද එය අවබොධ කරගැනීමට උවමනාව ඇත්තේද දුර්ලභ පිරිසකටය.

සත්වයා අනාදිමත් කාලයක සිට මේ භයානක සසරේ නිරන්තර ගමනෙහි යෙදී සිටී. කලකට දෙවියකු බ්‍රහ්මයකු වීමෙන්ද තවත් වරක ප්‍රේතයකු යකෙකු තිරසනකු හෝ නිරි සතෙකු වීමෙන්ද බොහෝ දුක් විඳිමින් සැප විඳිමින් නොනවතින ගමනක යෙදීසිටින අවස්ථාවක, පෙර කළ කුසලයක බලයෙන් බුදු කෙනෙකුන් උපත ලද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ඇති. ඇස් කන් ආදී ඉන්ඳ්‍රිය පද්ධතීන් නිසි අයුරින් වැඩ කරන, යම් දෙයක් වටහා ගැනීමේ හැකියාව ඇතිව මනුෂ්‍ය ආත්ම භාවයක් ලද මේ අවස්ථාව අපතේ හැරීම ඉතා විශාල අලාභයකි.

එබැවින් ලද මේ අවස්‍ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බෞද්ධයකු වශයෙන් ඔබ සතු යුතුකමකි. අවම තරමින් මෙම ආත්ම භ‍වයේහිදිම ගිහියකු වශයෙන් සෝවාන් බවට පත් වීමටවත් ඉලක්කයක් තබා ගත යුතුයි. අනෙකුත් ගිහි ජීවිතයේ ඇති ඉලක්කයන්ට සාපේක්‍ෂව මෙහි ඇති වටිනාකම පසක් වනුයේ ධර්මය ගැන වැටහීමක් ඇති නුවණැති මනුෂ්‍යයන්ට පමණි අන්‍යන්ට මෙය හුදෙක් මේ භවයේදී කළ නොහැකි සිනහවට කාරණයක් වනු ඇත.

පර්යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක් ඇත. වර්තමානයේ මෙම ශ්‍රී සද්ධ‍ර්මයේ අවස්ථා තුනම පවතී. එබැවින් උත්සාහවත් අයෙකු හට මේවා ශ්‍රවණයෙන් කියවා බැලීමෙන් පිළි පැදී‍මෙන් අරහත් භාවය දක්වාම ගමන් කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළි‍වම පෙනේ.

මනෝරථ පූරණී අටුවාවේ සඳහන් ආකාරයට පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, අනාගාමීන් වශයෙන් වර්ෂ දහසක්ද, සකෘදාගාමීන් ව‍ශයෙන් වර්ෂ දහසක්ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද මෙසේ පන් දහසක් අවුරැදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්වෙයි.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ෂඩ්අභිඥා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ත්‍රිවිද්‍යා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, පෘථග්ජන භික්‍ෂූන් වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සමපසාදනි සූත්‍ර අටුවාවෙහි දැක්වෙයි.

මේ අනුව මනෝරථපූරණියට අනුව වර්තමාන කාලය බහුලව අනාගාමීන් ඇතිවිය හැකි කාලයකි. සමපසාදනියට අනුව ත්‍රිවිද්‍යා ඇති රහතුන් වහන්සේලා බහුලව ඇති වියහැකි කාලයකි. මෙයින් අදහස් වනුයේ උත්සාහ කිරීමෙන් සියළු දුක් කෙලවර කිරීමට භාදාවන් මෙකල නොපවතින බවකි.

පිටකත්‍රය සහිත පර්යාප්ති ධර්මය ලෙහෙසියෙන් ලෝකයෙන් අතුරැදහන් වේයැයි සිතිය නොහැක. තැන තැනක ටික දෙනෙකුන් ලඟ පමණක් මේවා පවතීනම් එසේ සිතිය හැක. එහෙත් බුදු දහම බොහෝ ගම්වල නගරවල රටවල් වල ලොව පුරා පැතිර පවතී. කලින් කලට පැතිර පවතින ප්‍රදේශ අඩු වැඩි වීමක් සිදුවිය හැකි වුවත් වර්ෂ පන්දහසකටත් වඩා දීරිඝ කාලයක් පවතින බව නිසැකවම පැවසිය හැක.

ශ්‍රී සද්ධර්මයේ මූලය පර්යාප්ති ධර්මයයි. බෙහෙත් වට්ටෝරැව ඇති විටක වුවමනා අයෙකුට බෙහෙත සාදාගත හැකි බැවින් බෙහෙත නැති වූයේ ‍යැයි කිවනොහැකිය. බෙහෙත නැති වූයේ යයි කිව හැකි වන්නේ බෙහෙත් වට්ටෝරැව නොහැකි වීමෙන්ය. පතිපත්ති ප්‍රතිවේධ ධර්මයන් ඇති කර ගත හැකි ආකාරය දැක්වෙන පර්යාප්ති ධර්මය පවත්නා තුරැ වුවමනා කෙනෙකුට ප්‍රතිපත්ති හා ප්‍රතිවේධය අතුරැදහන් වුවද නැවත ඇති කර ගත හැකිය. භික්‍ෂු පරම්පරාව අතුරැදහන් වුවහොත් මහණකම හා උපසම්පදාව පමණක් නැවත ඇති කරගත නොහැකි වෙයි.

මාගේ මේ විනය මේ ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා බුදුරජාණන් වහන්සේ විසින් ආඥාවක් පිහිටුවා නැත. භික්‍ෂූන් වහන්සේලා යම් තාක් කල් විනයට අනුකූලව කුල පුත්‍රයන් පැවිදි කරන්නේ නම් උපසම්පදා කරන්නේ නම් එතෙක් සංඝ රත්නය පවතී. බුද්ධ කාලයේ පටන් අද දක්වාම භික්‍ෂූන් වහන්සේලා විසින් එදා පැවති විනයට අනුවම පැවිද්ද හා උපසම්පදාව කර ගෙන පැමිණ ඇති බැවින් අද සිටින භික්‍ෂුන් වහන්සේලා නියම සංඝ රත්නය නොවීමට හේතුවක් නැත. එදා වැඩ විසූ සැරියුත් මුගලන් ආදී මහරහන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ එකම ශ්‍රවක සංඝ රත්නයයි.

භික්‍ෂූන් වහන්සේලා ‍ගේ වේශයෙන් පෙනී සිටින අයගේ වැරදි වැඩ නිසා සමස්ථ සංඝ රත්නය කෙරෙහිම සිත කළ කිරවා ගැනීම නුවණැති අයකුගේ ක්‍රියාවක් නොවේ. ඕනැම පවුලක ගමක නගරයක රටක ආයතනයක සංවිධානයක වැරදි වැඩ කරන්නන් සිටිති. එය පොදුවේ දක්නට ලැබෙන දෙයකි එය බුදු සසුනටත් අදාලය. කළ යුත්තේ ඔවුන්ව සුමඟට ගැනීමට ක්‍රියා කිරීම මිස සසුන අපකීර්තියට පත් කිරීම නොවේ. එසේද කළ නොහැකි නම් කළ යුත්තේ ඔවුන්ට ගෞරව නොදැක්වා සිටීමයි. ගෞරව නොදක්වා සිටීම යනු අගෞරව කිරීම නොවේ. එනම් වැඳිමෙන්, පැමිණෙන විට අසුන් වලින් නැඟිටීම් ආදිය සිදු නොකර තම අප්‍රසාදය පළ කර සිටීමයි. අප්‍රසාදය පෙන්විය යුත්තේ අදාල භික්‍ෂුවට මිස එම භික්‍ෂුව ගැන නරක ආරංචි පැතිර වීමෙන් නොවේ.

සංඝ රත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට අතීතයේ වැඩ විසූ රහතන් වහන්සේලාගේ ජීවිත කතා චරිත කතා කියවා බලන්න. බුදුන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවුණු පොත් පත් සොයා කියවන්න. උන් වහන්සේලා කොතෙක් සිල්වත් ගුණවත් උතුමන් දැයි එවිට අවබෝධයකට පැමිණිය හැකි වෙයි. එවැනි උතුමන් ගෙන් සමන්විත සංඝ රත්නයට අගෞරව කිරීම තමන් වැනි අයෙකුට කෙතරම් සුදුසු දැයි තමාටම එවිට වැටහී යනු ඇත.

බෞද්ධයකු වශයෙන් තමා තුළ ඇති නුගුණ අඩු කර ගනිමින් යහපත් ගුණාංග ජීවිතයට වඩ වඩාත් එකතුකර ගනිමින් අපගේ බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ මෙම වෙසක් දිනයෙහි පටන් අවම වශයෙන් පන්සිල් රැකීමට වත් සියළු දෙනා අධිෂ්ඨාන කර ගනිමු. පන්සිල් වලින් පටන් ගන්නා මේ ගමන තව තවත් උත්සාහයෙන් භාවනා ආදියෙන් දියූණු කර ගනිමින් අවසාන ඉලක්කය වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඔබට හේතු වේවා !!

Reactions: