ලැබූ අවස්ථාව අපතේ නොහරිමු

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීම සඳහා විශාල කුසලයක් සිදු කර තිබිය යුතු හෙයින් එය දුර්ලභ කරැණකි . එසේ ඉපදුනද සත්වයන්ගේ දිවි පැවැත්ම හෙවත් ජීවිකාව දුක් සහගතය. බුදු වරයකුගේ උපත දුර්ලභය. එසේම සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම දුර්ලභය. ශ්‍රවණය කරන්නට ලැබුනද එය අවබොධ කරගැනීමට උවමනාව ඇත්තේද දුර්ලභ පිරිසකටය.

සත්වයා අනාදිමත් කාලයක සිට මේ භයානක සසරේ නිරන්තර ගමනෙහි යෙදී සිටී. කලකට දෙවියකු බ්‍රහ්මයකු වීමෙන්ද තවත් වරක ප්‍රේතයකු යකෙකු තිරසනකු හෝ නිරි සතෙකු වීමෙන්ද බොහෝ දුක් විඳිමින් සැප විඳිමින් නොනවතින ගමනක යෙදීසිටින අවස්ථාවක, පෙර කළ කුසලයක බලයෙන් බුදු කෙනෙකුන් උපත ලද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ඇති. ඇස් කන් ආදී ඉන්ඳ්‍රිය පද්ධතීන් නිසි අයුරින් වැඩ කරන, යම් දෙයක් වටහා ගැනීමේ හැකියාව ඇතිව මනුෂ්‍ය ආත්ම භාවයක් ලද මේ අවස්ථාව අපතේ හැරීම ඉතා විශාල අලාභයකි.

එබැවින් ලද මේ අවස්‍ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බෞද්ධයකු වශයෙන් ඔබ සතු යුතුකමකි. අවම තරමින් මෙම ආත්ම භ‍වයේහිදිම ගිහියකු වශයෙන් සෝවාන් බවට පත් වීමටවත් ඉලක්කයක් තබා ගත යුතුයි. අනෙකුත් ගිහි ජීවිතයේ ඇති ඉලක්කයන්ට සාපේක්‍ෂව මෙහි ඇති වටිනාකම පසක් වනුයේ ධර්මය ගැන වැටහීමක් ඇති නුවණැති මනුෂ්‍යයන්ට පමණි අන්‍යන්ට මෙය හුදෙක් මේ භවයේදී කළ නොහැකි සිනහවට කාරණයක් වනු ඇත.

පර්යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක් ඇත. වර්තමානයේ මෙම ශ්‍රී සද්ධ‍ර්මයේ අවස්ථා තුනම පවතී. එබැවින් උත්සාහවත් අයෙකු හට මේවා ශ්‍රවණයෙන් කියවා බැලීමෙන් පිළි පැදී‍මෙන් අරහත් භාවය දක්වාම ගමන් කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළි‍වම පෙනේ.

මනෝරථ පූරණී අටුවාවේ සඳහන් ආකාරයට පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, අනාගාමීන් වශයෙන් වර්ෂ දහසක්ද, සකෘදාගාමීන් ව‍ශයෙන් වර්ෂ දහසක්ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද මෙසේ පන් දහසක් අවුරැදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්වෙයි.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ෂඩ්අභිඥා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ත්‍රිවිද්‍යා රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, ශුෂ්ක විදර්ශක රහතුන් ගේ වශයෙන් වර්ෂ දහසක්ද, පෘථග්ජන භික්‍ෂූන් වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සමපසාදනි සූත්‍ර අටුවාවෙහි දැක්වෙයි.

මේ අනුව මනෝරථපූරණියට අනුව වර්තමාන කාලය බහුලව අනාගාමීන් ඇතිවිය හැකි කාලයකි. සමපසාදනියට අනුව ත්‍රිවිද්‍යා ඇති රහතුන් වහන්සේලා බහුලව ඇති වියහැකි කාලයකි. මෙයින් අදහස් වනුයේ උත්සාහ කිරීමෙන් සියළු දුක් කෙලවර කිරීමට භාදාවන් මෙකල නොපවතින බවකි.

පිටකත්‍රය සහිත පර්යාප්ති ධර්මය ලෙහෙසියෙන් ලෝකයෙන් අතුරැදහන් වේයැයි සිතිය නොහැක. තැන තැනක ටික දෙනෙකුන් ලඟ පමණක් මේවා පවතීනම් එසේ සිතිය හැක. එහෙත් බුදු දහම බොහෝ ගම්වල නගරවල රටවල් වල ලොව පුරා පැතිර පවතී. කලින් කලට පැතිර පවතින ප්‍රදේශ අඩු වැඩි වීමක් සිදුවිය හැකි වුවත් වර්ෂ පන්දහසකටත් වඩා දීරිඝ කාලයක් පවතින බව නිසැකවම පැවසිය හැක.

ශ්‍රී සද්ධර්මයේ මූලය පර්යාප්ති ධර්මයයි. බෙහෙත් වට්ටෝරැව ඇති විටක වුවමනා අයෙකුට බෙහෙත සාදාගත හැකි බැවින් බෙහෙත නැති වූයේ ‍යැයි කිවනොහැකිය. බෙහෙත නැති වූයේ යයි කිව හැකි වන්නේ බෙහෙත් වට්ටෝරැව නොහැකි වීමෙන්ය. පතිපත්ති ප්‍රතිවේධ ධර්මයන් ඇති කර ගත හැකි ආකාරය දැක්වෙන පර්යාප්ති ධර්මය පවත්නා තුරැ වුවමනා කෙනෙකුට ප්‍රතිපත්ති හා ප්‍රතිවේධය අතුරැදහන් වුවද නැවත ඇති කර ගත හැකිය. භික්‍ෂු පරම්පරාව අතුරැදහන් වුවහොත් මහණකම හා උපසම්පදාව පමණක් නැවත ඇති කරගත නොහැකි වෙයි.

මාගේ මේ විනය මේ ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා බුදුරජාණන් වහන්සේ විසින් ආඥාවක් පිහිටුවා නැත. භික්‍ෂූන් වහන්සේලා යම් තාක් කල් විනයට අනුකූලව කුල පුත්‍රයන් පැවිදි කරන්නේ නම් උපසම්පදා කරන්නේ නම් එතෙක් සංඝ රත්නය පවතී. බුද්ධ කාලයේ පටන් අද දක්වාම භික්‍ෂූන් වහන්සේලා විසින් එදා පැවති විනයට අනුවම පැවිද්ද හා උපසම්පදාව කර ගෙන පැමිණ ඇති බැවින් අද සිටින භික්‍ෂුන් වහන්සේලා නියම සංඝ රත්නය නොවීමට හේතුවක් නැත. එදා වැඩ විසූ සැරියුත් මුගලන් ආදී මහරහන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ එකම ශ්‍රවක සංඝ රත්නයයි.

භික්‍ෂූන් වහන්සේලා ‍ගේ වේශයෙන් පෙනී සිටින අයගේ වැරදි වැඩ නිසා සමස්ථ සංඝ රත්නය කෙරෙහිම සිත කළ කිරවා ගැනීම නුවණැති අයකුගේ ක්‍රියාවක් නොවේ. ඕනැම පවුලක ගමක නගරයක රටක ආයතනයක සංවිධානයක වැරදි වැඩ කරන්නන් සිටිති. එය පොදුවේ දක්නට ලැබෙන දෙයකි එය බුදු සසුනටත් අදාලය. කළ යුත්තේ ඔවුන්ව සුමඟට ගැනීමට ක්‍රියා කිරීම මිස සසුන අපකීර්තියට පත් කිරීම නොවේ. එසේද කළ නොහැකි නම් කළ යුත්තේ ඔවුන්ට ගෞරව නොදැක්වා සිටීමයි. ගෞරව නොදක්වා සිටීම යනු අගෞරව කිරීම නොවේ. එනම් වැඳිමෙන්, පැමිණෙන විට අසුන් වලින් නැඟිටීම් ආදිය සිදු නොකර තම අප්‍රසාදය පළ කර සිටීමයි. අප්‍රසාදය පෙන්විය යුත්තේ අදාල භික්‍ෂුවට මිස එම භික්‍ෂුව ගැන නරක ආරංචි පැතිර වීමෙන් නොවේ.

සංඝ රත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට අතීතයේ වැඩ විසූ රහතන් වහන්සේලාගේ ජීවිත කතා චරිත කතා කියවා බලන්න. බුදුන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවුණු පොත් පත් සොයා කියවන්න. උන් වහන්සේලා කොතෙක් සිල්වත් ගුණවත් උතුමන් දැයි එවිට අවබෝධයකට පැමිණිය හැකි වෙයි. එවැනි උතුමන් ගෙන් සමන්විත සංඝ රත්නයට අගෞරව කිරීම තමන් වැනි අයෙකුට කෙතරම් සුදුසු දැයි තමාටම එවිට වැටහී යනු ඇත.

බෞද්ධයකු වශයෙන් තමා තුළ ඇති නුගුණ අඩු කර ගනිමින් යහපත් ගුණාංග ජීවිතයට වඩ වඩාත් එකතුකර ගනිමින් අපගේ බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ මෙම වෙසක් දිනයෙහි පටන් අවම වශයෙන් පන්සිල් රැකීමට වත් සියළු දෙනා අධිෂ්ඨාන කර ගනිමු. පන්සිල් වලින් පටන් ගන්නා මේ ගමන තව තවත් උත්සාහයෙන් භාවනා ආදියෙන් දියූණු කර ගනිමින් අවසාන ඉලක්කය වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඔබට හේතු වේවා !!


5 Response to "ලැබූ අවස්ථාව අපතේ නොහරිමු"

  • කැස්බෑවා Says:

    පන්සිල් රැකීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ නොවේ. එය සිදුවන්නේ සද්ධර්ම ශ්‍රවනයෙනි.භාවනා කල යුත්තේ ඉන් පසුවයි.


  • සරත් ගුණතුංග Says:

    අපේ ලාංකික පින්වතුන් බොහෝ සෙයින් ආමිස පූජාවන්ට කැප වී සිටිති. ප්‍රතිපත්ති පූජාවන් කෙරෙහි එතරම් මහන්සියක් නොගන්නා බවක් පෙනෙන්නට ඇත. නමුත් බුදුදහම අවබෝධ කිරීමට වෙනත් කෙනෙක් කියන දෙයක් පාඩම් කොට යලිත් එය පැවසීමෙන් කිසිකෙනෙකුට ප්‍රයෝජනයක් නොවේ. එයින් "තමාගේ දැනීම" පිලිබඳව මාන්නයක් පවා මතු විය හැක. බුදු හිමි මෙසේ පවසා ඇත... සුතා (මනා ලෙස ශ්‍රවනය කිරීම ) (බුදුහිමි සමයේ පොත් කියවීමක් නොතිබිනි. අද ශ්‍රවනය කිරීම සහ කියවීමද ඇතුලත් කල හැක.) ධතා (මනා ලෙස සිතෙහි ධාරණය කිරීම, වචසා පරිචිතා - වචනයෙන් පුරුදු කිරීම, මනසාණුපේක්ඛිතා - නුවනින් මෙනෙහි කිරීම, - දිට්ඨියාසුප්පටිවිද්ධා- අවබෝධයෙන් පැහැදිලි කර ගැනීම... ඒ කියන්නෙ බුදහම අවබෝධ කරගන්නට භාවනාව අවශ්‍යමයි. පොතක තිබුනු දෙයක් හෝ දහම් දේශනාවක් ශ්‍රවනයෙන් මතක තබා ගත් දෙයකත්, අවබෝධයෙන් තමා ලබාගත් දෙයකත් විශාල වෙනසක් තියෙනව. අවම වශයෙන් දින හතක් වත් විපස්සනා භාවනාව කිරීමෙන් (නොකඩවා නොවේ) රූප, වේදනා පවා වෙන් වශයන් හඳුනා ගැනීමේ අවබෝධයක් ලැබේ. තෙරුවන් සරණයි.


  • ෴ .:GiniMakara :.෴ Says:

    සරත් ගුණතුංහ මහතාණනි, මාගේ දැනීම පිළිබඳ මාන්නයක් ඇති කරගැනීමෙන් මාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැත මා මේ බ්ලොග් අඩවිය ලියනුයේ ධර්ම දානයක් වශයෙනි.මා වෙනත් කෙනෙකු කියන දෙයක් කට පාඩම් කොට එය යලිත් නොපවසමි. නමුත් මා විසින් බුදුන් වහන්සේ පවසනලද ධර්මය ඇතුලත් බෞද්ධ පොත පත බහුලව භාවිතා කරන බව නම් සැබවි.එවන් පොත පත කියවීමට කාලය අවකාශ නැති එහෙත් බ්ලොග් කියවීමට අවස්ථාවක් ඇති අය සඳහා ඒවායේ සඳහන් කරැණු මෙහි යොදමි.ඒවායේ යම් කිසි වැරදි අඩු පාඩු ඇත්නම් පෙන්වා දෙන මෙන් කාරැණිකව සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි. එවිට ඇතිවන සංවාදයන් ගෙන් අප සතු ධර්මය පිළිබඳ ඇති දැණුම තව තවත් පුළුල් කරගත හැකි බව මගේ හැඟීමයි.ඔබට තෙරැවන් සරණයි!


  • සරත් ගුණතුංග Says:

    පින්වත් මහත්මයානනි,

    මම ඔබ ගැන කිසිම විවේචනයක් කර නොමැත. මා පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය්යෙන් අපේ රටේ සිදුවන දේවල්ය. ඔබේ සටහන් මම ඉතාමත් අගය කරමි. සත්තකින්ම එය ධර්ම දානයකි. මා පෙන්වන්නට අදහස් කලේ අවබෝධයත්, දැනුමත් අතර ඇති වෙනස පමණකි. උදාහරණයක් වශයෙන් මෙසේ කිව හැක. අපි 'දුක්ඛ' සත්‍යය හොඳාකාරව දනිමු. නමුත් ලඟම නෑදෑයෙකුගේ වියෝවෙන් අපි බලවත් සේ කම්පා වෙමු. අපි දුක්ඛ සත්‍යය අවබෝධ කර ඇත්නම් අපි එසේ කම්පා නොවෙමු. මට කියන්නට අවශ්‍ය වූයේ එයයි. කරුණාකර වරදවා හිතන්න එපා. තෙරුවන් සරණයි


  • charitha Says:

    මෙය බොහොම පින්වන්ත කටයුත්තකි. ඔබ සැමට තෙරුවන් සරණයි !!!!
    චරිත මිහිරාන් වරාවිට.
    මොරටුව විශ්වවිද්යාලය.


Post a Comment