කර්මය තවත් සවිස්තරව දැනගනිමු

සත්වයා කියන්නෙ කුසලාකුශල විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්. අප විසින් ‍සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන් අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින් සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන් වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව, විපාක දෙන අවස්ථාව අනුව, විපාක දෙන කාල අනුව, විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න පුළුවන්

කාර්යය අනුව එනම් කෘත්‍ය අනුව කර්මය කොටස් 4 යි.

1.ජනක කර්මය.

මරණින් පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක කර්මයයි. අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති වුනත්, ජනක කර්මයක් ‍හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත් වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත් හැකියාවක් තියනව.

සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම් කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි. එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.

කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද?

කර්ම නිමිති හරි ගති නිමිති හරි ‍පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය (සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.

කර්ම නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.

නිදසුන් වලින් කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට තමා කරපු පින් දහම්, දන් දීපු දේවල්, පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන් කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් (Near death experience ) වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි දේවල් ගැනයි.

මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්, සමහර අයට පැය ගණනක් කල් ඇතුව වැටහෙනව, තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න කෙනෙක්ව සුගතියකට යවන්න, යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන් උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු නොවන අවස්ථා වලදි විතරයි.

ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක් කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින් මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන එක. හැ‍බැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ‍මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.

මරණාසන්න වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ අපිව දාල යන්න එපා කියල" කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම් නොකිරීමට අපි වග බලා ගන්න ‍ඕනෙ.

2.උපස්තම්භක කර්මය.

කුශල හෝ අකුශල හෝ කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට තරම් බලවත් නොවූ කර්මත්, ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක කර්මත්, වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත් වෙනව.


අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින් කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.

3.උපපීඩක කර්මය.

නොයෙකුත් රෝග ඇතිකිරීම, තනතුරැ වලින් පහළට ඇද වැට්ටවීම, නෑ මිතුරන් නැති කිරීම, සොර සතුරු කරදර ඇති කිරීම ආදී දේවල් වලින් වරින් වර පීඩා කරන කර්ම උපපීඩක කර්ම කියල හඳුන්වනව. මෙහිදීත් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට සමත් නොවූ දුර්වල කර්ම, ප්‍රතිසන්ධියක් ඇති නොකළ ජනක කර්ම, වරක් ප්‍රතිසන්ධි ඇතිකළ ජනක කර්ම ආදිය උපපීඩක කර්ම වශයෙන් විපාක දෙන්න ගන්නව. උපපීඩක කර්මයෙන් කරන්නෙ බලවත්ව තියෙන කර්ම දුබල කිරීමයි. ඒක කුසල අකුසල කියන කර්ම දෙකටම එක ලෙස බලපානව. බලවත් අකුසලයක් කරපු කෙනෙක් ඒ අකුසලයක විරුද්ධ වූ කුසල් බොහෝ ගණනක් කළ විට පසුව කරපු කුසල කර්ම හින්ද අර බලවත් අකුසලය දුබල වෙනව. අපල වලට බෝධි පූජා ආදිය කරන්න කියල කියන්නේ මේ වාසිය ලබාගන්න හින්දයි. ඇත්තටම අපල කියල කියන්නෙ අප විසින් කලින් කරපු අකුසල කර්මයන්. ඒව උත්සාහයෙන් බුද්ධියෙන් වෙනස් කරගන්න පුළුවන් කියන එ‍කයි මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ වුනේ. මේකෙන් අදහස් කරන්නෙ නැහැ පව් කර කර බෝධි පූජා තිබ්බම අකුසල් නසන්න පුළුවන් කියල. පුළුවන් වෙන්නෙ විපාකය අඩු කරගන්න විතරයි. ඒකට හේතුව උපපීඩක කර්මයෙන් අකුසල කර්මයේ බලය අඩු කරන හින්දයි.

4.උපඝාතක කර්මය.

ජනක කර්මයක විපාක පරම්පරාව එනම් උපන් සත්වයා ගේ ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය ලෙස හඳුන්වනව. බුදුන් වහන්සේට රහතුන් වහන්සේලාට මාපියන්ට ගුරුවරුන් ආදී ගුණවත් අයට කරන අපරාධ උපඝාතක කර්ම බවට පත්වෙනව. ප්‍රතිසන්ධිය ලබා දෙන අවස්ථාවලදි මෙම උපඝාතක කර්ම ජනක කර්ම බවට පරිවර්තනය වෙනව. ඉපදුන කෙනාට වැඩි කාලයක් ආයුෂ ගෙවීමට ඉඩ නොදීම මෙම කර්මය විසින් සිදු කරනව. උපච්ඡේදක කර්මය කියලත් මේ උපඝාතක කර්මය හඳුන්වන අවස්ථා තියනව. සමහර උපඝාතක කර්ම ජීවිතය විනාශ කරල නැවත උප්පත්තියක් ලබල දීමටත් ක්‍රියා කරනව. ඒවගෙම ජීවිතය විනාශ කිරීම විතරක් සිදු කරන අවස්ථාත් තියනව ඒ අවස්ථාවල උපඝාතක කර්ම උපච්ඡේදක කර්ම ලෙස හඳුන්වනව. නරකයක ඉපදිල ඉන්න වෙලාවක කළ පින් සිහිවෙලා සුගතියක උපද්දවීමත් ප්‍රේත ලොවක සිටින අයෙකු ඤාතීන්ගේ පින් අනුමෝදන් වීමෙන් සුගති ගතවීමටත් උපඝාතක කර්මය බලපාන්න පුළුවන්.ඒ උපඝාතක කර්මය යහපතට බලපාන අවස්ථායි.

විපාක දෙන අවස්ථාව අනුව සැළකීමෙන් කර්මය කොටස් 4 ට බෙදිය හැකියි.

1.ගරු කර්මය.

මරණින් පස්සෙ දෙවන ජාතියේදී නොවරදවාම විපාක දීමට ශක්තිය තියෙන අතිශයින් බලවත් කර්ම ගරු කර්ම ලෙස හඳුන්වනව. ආනන්තරිය කර්ම පහ (මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇ‍‍‍ඟේ ලේ සෙලවීම, සංඝයා භේද කරවීම) අකුසල පක්‍ෂයේ ගරු කර්ම වෙනව. රූපාචර (ප්‍රථම දුතිය තතිය චතුර්ථ) ධ්‍යාන , අරූපාචර (ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) ධ්‍යාන කුසල පක්‍ෂයේ ගරු කර්ම ලෙස සලකනව.

2.ආසන්න කර්මය.

මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද ‍සිහි කරන ලද කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව. ගරු කර්මයක් නැති අයට ආසන්න කර්මය පළමුවෙන් විපාක දෙනව. බොහෝ පින් කරපු අය සමහර අවස්ථාවලදී දුගතියට යන්නේත්, බොහෝ පව් කළ අය සුගතියට යන්නේත් මෙම ආසන්න කර්මයේ බලයෙන්.

3.ආචීර්ණක කර්මය.

දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන් මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව. දිනපතා කරන බුදුන් වැඳිම් භාවනා වැඩීම්, සතියකට වරක් බැගින් කරන ලද අනුනට උපකාර කිරීම් සමාජ සේවා කටයුතු, මාසිකව කරන සිල් සමාදන් වීම්, අවුරැද්දකට වරක් සිදු කළ දානමය පුණ්‍යක්‍රියා ආදිය කුසල පක්‍ෂයෙන් උදාහරන හැටියට දැක්විය හැකියි. අකුසල පක්ෂය ගැන ඉතින් කියල වැඩක් නැහැනෙ ඕන තරම් උදාහරණ තියනවනෙ. ගරු කර්මයක් හරි ආසන්න කර්මයක් හරි නැති තැනැත්තට දෙවන ජාතියේ එනම් මරණයෙන් පසු ජී‍විතයේදී ආචීර්ණ කර්මය විපාක දෙනව.

4.කෘතත්වාත් කර්මය.

ගරුක ආසන්න ආචීර්ණ බවට පත් නොවුනු දුර්වල කර්ම කෘතවාත් කර්ම ලෙස හඳුන්වනව. අවස්ථාවක් ලැබෙන පරිදි ඉඳල හිටල කරපු කර්මත් මේ යටතට ගන්න පුළුවන් ඒව දුබල කර්ම හැටියටයි සලකන්නෙ. ගරැක ආදී කර්ම තුනෙන් විපාක දීමට එක කර්මයක් හරි නැති වෙලාවට විපාක දෙන්නෙ කෘතවාත් කර්මයි.

විපාක දෙන කාල අනුව කර්මය කොටස් 4 කින් යුතුයි.

1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

කරන ලද ආත්ම භ‍වයේදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන් වහ‍න්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව. දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් ‍කර්ම කරන ලද ආත්මයේදීම විපාක දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.

2.උපපජ්ජ වේදනීය කර්ම.

දෙවන ජාතියේදී එනම් මරණින් මතු ජාතියේදී විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම ලෙස හඳුන්වනව.

3. අපරාපරිය වේදනීය කර්ම

කර්මය කරපු ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවස්ථාවක් ලැබුණ ගමන් කවදා හරි විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම නම් වෙනව.

4. අ‍හෝසි කර්ම.

අතීතයේදී විපාක නුදුන් කර්මද මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම හැටියට හඳුන්වනව. අංගුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල් සිදු කළත් එම කර්ම රහත් භාවයට පත්වීම හේතු කොට ගෙන අහෝසි කර්ම බවට පත්වුනා.

විපාක දෙන ස්ථාන අනුව කර්මය ආකාර 4 කි.

1.අකුශලය - සතර අපායේ ප්‍රතිසන්ධි විපාක ලබාදෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

2. කාමාචර කුශලය - මිනිස් ලෝකයේ හා දිව්‍යලෝක හතරේ ප්‍රතිසන්ධි විපාක ලබල දෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

3.රූපාවචර කුශලය - රූපාචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

4.අරූපාවචර කුශලය - අරූපාවචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

ප්‍රතිසන්ධි විපාක කියන්නෙ භවයක ඉපදවීමයි. ප්‍රවෘත්ති විපාක කියන්නෙ ඒ ඒ භවවල ඉපදුනහම ලැබෙන විපාක



2 Response to "කර්මය තවත් සවිස්තරව දැනගනිමු"

  • Narada Says:

    සිත නිදහස් වු කාල වෙලා ඇති විටෙක හොඳින් කියවීය යුතුයි, දහම් දැනුම ප්‍රඡාර කිරිමට තැත් කරන ඔබට බොහෝම පීං! මෙවැනි ලිපි සඳහා ප්‍රතිචාර හා ස්තුති කිරිම් අඩු වුවද තැවෙන්න එපා. මන්ද, ලාකේය සමාජයන් තුල වචනයෙන් හා බාහිර පෙනුමට හැරෙන්න තමා තුල දහම තුල හැඩ ගස්වා ගන්නට අවංක උවමනාවක් ඇති අය අඩු බවක් ඔබතුමා අවබෝධ කර ඇතුවා ඇති. දිගටම ලියන්න! අපි කියවන්නේමු!


  • Unknown Says:

    ඉතාමත් වටිනා ලිපියක් ධර්ම දානමය කුසලය ඔබට නිවන් පිණිසම වේවා.


Post a Comment