මිථ්‍යාදෘෂ්ටිය

රණින් පසු නැවත ඉපදෙන්නෙ නැහැ, පින් පව් කියල දෙයක් නැහැ, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නෙ නැහැ, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක නැහැ, නිවණ කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැත්නම් වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කියල හඳුන්වනව.

1.ගන්නා වූ ආකාරය වැරදි වීම
2. එයම සත්‍යය යි තීරණය කර ගැනීම

යන කරැණු දෙකෙන් මෙම අකුසලය සිදුවෙනව. මේක අනිත් සියල්ලටම වඩා ටිකක් බරපතල අකුසල් සිදුවන එකක්. මොකද අනිත් සියළු අකුසල් මේ අකුසලය නිසා සිදුවෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටි බොහෝ සංඛාවක් තියනව ඒත් ඒවා‍යින් බරපතල අකුසල් සිදුවෙන්නෙ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන්. විසිආකාරයකින් ඇති සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන හැට දෙකක් වූ දෘෂ්ටීන් වලින් එතරමි අකුසල් සිදුවෙන්නෙ නැහැ. දරැණුම දෘෂ්ටි ගැන විස්තර දාන්නම් අනිත් ඒව දැන ගන්න ආස අය අදාල සූත්‍ර කියවල දැන ගන්න. ඒව කියවන කොට තේරෙයි බුදුන් වහන්සෙ මොනතරම් දේවල් ගැන දැනගෙන හිටියද කියල.

1.නාස්තික දෘෂ්ටිය

දන් දීමෙන් වැඩක් නැහැ. පූජා කිරීමෙන් වැඩක් නැහැ. පුද පඬුරැ යැවීමෙන් වැඩක් නැහැ. පින පව් වල ඵල විපාක නැහැ.පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ. මවට කරන හොඳ නරක වල විපාක නැහැ පියාට කරන හොඳ නරක වල විපාක නැහැ. මැරැණට පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැහැ. ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් බුදු කෙනෙක් පහල වන්නේ නැහැ. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. සත්වයා මැරැණ විට ශරීරය සතරමහා භූතයන්ට ම එනම් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස්වලටම එකතුවෙනව. ඉන්ද්‍රයන් අහසට යනව. අසවලා දායකයෙක් අසවලා මසුරෙක් දුශ්ශී‍ලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නොපෙනීයනව. ඇට පරවි පියාපත් පැහැ වෙනව. දාන පූජා ආදිය අළු වීම කෙලවර කොට පවතිනව. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. කවුරැහරි දානයෙන් ප්‍රතිඵලයක් තියනව කියල කියනවනම් ඒ කීම හිස් දෙයක් බොරැවක් නන් දෙඩවිල්ලක්. පණ්ඩිත අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශවෙලා යනව ආයත් ඉපදෙන්නෙ නැහැ. මේ අජිත නම් වූ තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටියයි.

2.අහේතුක දෘෂ්ටිය

සත්වයන්ගේ කෙලෙස් ඇතිවීමට හේතුවක‍් හෝ ප්‍රත්‍යයක් හෝ නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනව. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනව. සත්වයින්ට ඒ ඒ කුඩා විශාල වු ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියමවූ එක්තරා ක්‍රමයක් තියනව. ඒ ක්‍රමයට අනුව තමා මොඩයොයි පණ්ඩිතයොයි යන ‍හැම දෙනාම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන සීල භාවනා වැනි පින්වල බලයෙන් හරි තපස් රැකීමෙන් ඇතිකරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවල දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිල විශේෂ සැපයක් ලබන්න බැහැ. මොනව කලත් නියම කාලය එනකල් දුක් කෙලවර කරල පරම සැපයකට එන්න කාටවත් බැහැ. පින් කරන නොකරන පණ්ඩිත අපණ්ඩිත සියලුදෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරි සරල අන්තිමට දුක කෙලවර කරනව. මේක මක්ඛලී ගෝසාල කියන තීර්ථකයගෙ දෘෂ්ටිය.

3.අක්‍රිය දෘෂ්ටිය

තමන් විසින්ම පව් කරන කෙනාටත්, අනුන් ලවා පව් කරවන කෙනාටත්, අනුන්ගේ අත පය ආදිය කපා කොටා දාන කෙනාටත්, එසේ කිරිමට නියම කරන කෙනාටත්, දඬු මුගුරැ ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන අයටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන අයටත්, ආහාර නොදිම සිරකර තැබීම් ආදියෙන් අනුන්ට පීඩා කරමින් තමාද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරැකියන යනාදී ලෙස ඕනෑකමින්ම පව් කරන කෙනාටත් සිදුවන අකුසලයක් නැහැ. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැහැ. මේ පූර්ණ කාශ්‍යපගේ දෘෂ්‍ටියයි


මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්

"මහ‍ණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය" යනුවෙන් බුදුන් වහන්සේ පවසල තියනව.

මේක දේශනා කරල තියෙන්නෙ කර්ම කර්ම ඵල දෙක ප්‍රතික්‍ෂ්ප කරන නාස්තික අහේතුක අක්‍රිය කියන දෘෂ්ටි වලටයි. ඒ දෘෂ්ටි වලින් කුමන දෘෂ්ටියක් ගත්ත කෙනෙකුට වුනත් ඒක අතහැර ගත්තෙ නැත්නම් මරණින් පස්සෙ සුගතියකට යන්න නම් වෙන්නෙ නැහැ නිවන් දකින්නත් බැහැ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කරනව. ඒ දෘෂ්ටි ගත්ත කෙනා මරණය දක්වාම එය අත් හරින්නෙ නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ඉපදෙන්නෙ නරකයෙ. ඒක හින්ද ඒවට කියනව නියත මිථ්‍යාදෘෂ්ටි කියල. මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළ‍ඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව. ආනන්තර්‍ය්‍ය කර්ම කරපු අය කල්ප අවසානයේදී නරකයෙන් මිදෙනව ඒත් නියත මිත්‍යදෘෂ්ටිය ගත්ත අය ලොකය විනාශවෙන වෙලාවෙදි වෙනත් ලෝකයක නරකයකට පැමිණිලා විපාක විඳින්න පටන්ගන්නව. එසේ සිදුවන විපාක වල අවසානය ගැන නිශ්චිතව කියන්න බැහැ.

ගොඩක් අය මිථ්‍යාදෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරැ කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අනිත් අයටත් රසවත් කරල පෙන්නල මෝඩ අයව ඒ දෘෂ්ටියට ඇදල ගන්නව. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙක්ව මිථ්‍යදෘෂ්ටිකය‍කු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැහැ. ධර්මයෙන් ඈත්ව වාසය කරන අය මේ අයගෙ උගුල්වලට ලේසියෙන් අහුවෙනව. ඇයි ධර්මය හරියට දන්නෙ නැහැනෙ ඉතින් කියන ඕනෙ එකක් ධර්මයට ගලපල බලන්නෙ නැතිව පිළිගන්නව. මිසදිටු අ‍යගෙ දේශන වලට සවන් දීමෙන් ඔවුන‍්ගේ පොත් පත් විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ ‍කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙලා අකුසල් සිද්ධ කර ගන්නව.

මිථ්‍යා අදහස් තියන අයගෙන් ඈත් විම. ධර්මය නොවන වල්පල් කතා කරන ධර්ම සාකච්ඡා ආදියට සහභාගි නොවීම. ධර්මය ගැන නිවැරදි අවබෝධ‍යක් ඇති අය ඇසුරැ කිරීම. ධර්මයේ අපහැදිලි තැන් ඔවුන්ගෙන් අසා නිවැරදි කර ගැනීම. දහම් පොත පත කියැවීම. තමාව ප්‍රාණඝාත අදත්තාදාන ආදී කොට ඇති දස අකුසලයෙන් මුදවා යහ මඟ පෙන්වා දෙන සත්පුරැෂයන් නිතර ඇසුරැ කිරීම ආදියෙන් මිථ්‍යා දෘෂ්ටි අකුසලයෙන් වැලකී සිටිය හැකිවෙයි. අසත් පුරැෂයින් හෙවත් මිත්‍යා දෘෂ්ටි ගත් තනැත්තන් විසින් අපව අයහපතෙ‍හි යෙදවීමට තැත් කිරීමේදී, එයින් වැලකීසිටිමට ශක්තිය ‍ධෛර්යය සිදු කරගත් කුසලයන් ගෙන් ලැ‍බේවා කියල ආගමික වතාවත් වලදි පවසන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය බලවත් අකුසලයක් වන හින්දයි.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමා‍ගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

මාවිසින් සිදු කරන ලද්දාවූ මේ ආමිසවූද, ප්‍රතිපත්තිමය වූද පුණ්‍ය කර්මයන් කරන කොට ගෙන මෙතැන් පටන් නිවන් දක්නා තුරැම අසත්පුරැෂයන් ඇසුරැ කිරීමට නොලැබේ‍වා! සත්පුරැෂ කල්‍යාන මිත්‍ර සේවනයම ලැබේවා!





Reactions: 


ව්‍යාපාදය

න්‍යයන් විනාශවේවා යයි සිතීම ව්‍යාපාදය කියල හඳුන්වනව. මේක බොහෝ වෙලාවට ඊෂ්‍යාවත් එක්ක ඇතිවන අකුසලයක්. තවකෙනෙක් මිය ගියහම එයාගෙ දේපල වස්තුව තමාට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එම පුද්ගලයා විනාශවේවා කියල හිතන අය ඉන්නව. එහෙම හිතන කෙනාගෙ ව්‍යපාදය ඇතිවෙන්නෙ ලෝභය හින්ද. සමහර අවස්ථාවල තමන්ට කරදර කරන අය නැසෙත්වා කියල හිතන අය ඉන්නව ඒහෙම හිතන්නෙ ද්වේශය හින්දයි.

ව්‍යාපාදය සිදුවෙන්න නම් කරැණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1.විනාශ විය යුතු සත්වයකු ‍සිටිම පළමුවැන්නයි
2. එම සත්වයා විනාශවිය යුතු බව සිතීම දෙවැන්නයි

යම්කිසි කෙනෙක් ගැන කේන්තියක් ඇතිවුන පමණින් ව්‍යාපාද අකුසලය සිදු වනේනෙ නැහැ. ඒත් ඒ තැනැත්තා විනාශ වේවා කියල හිතුවොත් නම් ව්‍යාපාදය සිදුවෙනව. ඒකෙන් කියන්නෙ "අනේ මේක හිටියට වඩා හොඳයි මැරිල ගියානම්" , " ඕකව පණ පිටින් ඉතුරැ කරන්න වටින්නෙ නහැ" ," කරපු අපරාදෙට හෙන හතම ගහන්න ඕනෙ" වගේ අදහස් පහළවීම මෙම අකුසලයට අයත් වෙනව කියන එකයි. මෙම අකුසලයේ කුඩා විශාල බව සහ විපාක ලැබී‍ම පරැෂ වචනවලදී සඳහන් කරන ලද දේවල් වලටම සමානයි. ව්‍යාපාදයෙන් වැලකෙන්න නම් සියළු සත්‍වයින් කෙරෙහි මෛත්‍රියෙන් සිටිය යුතුයි.

Reactions: 


අභිද්‍යාව

අනිත් අයගෙ සම්පත් දැකල ඒවා තමන්ට ලැබේවා කියල ප්‍රාර්ථනා කිරීම මෙන්ම අනුන්ට අයිති දේ තමාට අයිති කර ගැනීමට සිතීම අභිද්‍යාව කියල හඳුන්වනව.

තමන්ගේ දේවල් වලට වුනත් ඕනෙවට වඩා ලෝභ කිරීම, හොඳ නැති දෙයක් කියලයි බුදුන් ව‍හන්සේ දේශනා කලේ. මොකද ඕනෙවට වඩා දේවල් ගැන ආසාව ඇතිකර ගත්තම ඒව නැති වුනහම, විනාශයට පත් වුනහම දුකට පත්වෙන්න වෙනව. ඉතින් අනුන්ගෙ දේවල් ගැන ලෝභ කරන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. අනුන්ගේ සම්පත් වලට ඇති ආශාව පමණ ඉක්මවා ඇතිකර ගත්තහම ඒක අභිද්‍යා අකුසලයට අයත් වෙනව. අදත්තාදාන හා කාමමිථ්‍යාචාර අකුසලයන් සිදුකරන අවස්ථාවලදී ඒවා සිදු කරන්න කලින් ‍මුලින්ම ඇතිවන අකුසලය අභිද්‍යාවයි. ඒ‍කියන්නෙ අහිද්‍යාව නිසා සොරකම් කරනව. අභිද්‍යාව හින්ද පරදාර සේවනයෙහි ‍යෙදෙනව. දූ කෙලිය එනම් ඔට්ටු ඇල්ලීම් වගේ දේවල් කරන්නට පෙළඹීමටත් මේ අකුසලය බලපානව.

අනිත් ඒ‍වට වගේම මේ අකුසලය සිදුවෙන්නත් යම් යම් අවශ්‍යතා සම්පූර්ණ විය යුතුයි. මෙහිදී ඒ සඳහාකරැණු දෙකක් බලපානව.

1. ආස කරන ‍දේ අනුන් සතු දෙයක් වෙන්න ඕනෙ
2. ඒ අනුන් සතු දේ තමා සතු කරගන්න ඕනෙ කියල සිතුවිල්ලක් ඇතිකර ගන්න ඕනෙ.


අනුන් සතුව තියන යම් කිසි දෙයක් දැකල "මේක කොච්චර ෂෝක් ද" කියල හිතුවට අකුසල් සිදුවෙන්නෙ ‍නැහැ. මාත් මේ වගේම එකක් ගන්න ඕනෙ නැත්නම් හදව ගන්න ඕනෙ කියල හිතුවටත් අභිද්‍යාව සිදුවෙන්නෙ නැහැ. ‍"අනේ මට මෙයාගෙ දේවල්මයි ඕනෙ" කියල හිතුවොත් හරි, "මේක මට තිබුනනම් කොච්චර හොඳද" කියල හරි, "මට මේක අයිති වේවා!" කියල හරි හිතපු ගමන් අභිද්‍යා අකුසලය සිදුවෙනව. මේක භාණ්‍ඩ ගැන විතරක්ම නෙමෙයි පුද්ගලයන් හා සතුන් සම්බන්ධවත් ඒකසේම බලපානව. ඉතින් ඒක හින්ද පරිස්සමින් "අනේ අරයට ඉන්න කෙනා මට හිටියනම් කොචර හොඳද" වගේ දේවල් හිතන්න එපා. ඒ වෙනුවට "එයාට ඉන්න කෙනාටත් වඩා හොඳ කෙනෙක්ව මම හොයාගන්නව" කියල හිතන්න. මේ අකුසලයෙ විපාක අදත්තාදාන අකුසලයේ විපාක වලට සමානයි. නැවත නැවත ඒව ලියන්න ගියහම ලිපිය දික්වෙන හින්ද ඒව දාන්නෙ නැහැ. මේක ලියනකොට මතක්වුනා කියමනක් මට මතක නැහැ ඒක කවුද කිව්වෙ කියල මේකට අදාල වෙන හින්ද ඒක දාන්නම්

"අපට වුමනා කවර දෙයක් වුවද ලබාගැනීමේ අව්‍යාජම ක්‍රමය නම් එය වෙනත් කෙනෙකුගෙන් පැහැර ගැනීම නොව අපම එය නිර්මාණය කර ගැනීමයි"

Reactions: 


සම්ඵප්‍රලාප

ම් කිසි කතාවක් එය කියන තැනැත්තගෙ හෝ අහන අයගේ මෙලොව පරලොව යහපතට හේතු වෙන්නෙ නැත්නම්. හුදෙක් කෙලෙස් වැඩීමටත් යම් කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකරැණේ ගෙවී යාමක් පමණක් සිදුවෙනවනම් ඒ කතාව සම්ඵප්‍රලාප කියල හඳුන්වනව.

සම්ඵප්‍රලාප අකුසලය සිදුවීමට බලපාන්නෙ කරැණු දෙකයි.

1.අසන හා කියන දෙපක්‍ෂයටම වැඩක් නැති කතාවක් කීමේ සිතුවිල්ල
2.එවැනි කතාවක් කීම

සම්ඵප්‍රලාප කියන කෙනා තමන්ගේ කාලය නාස්ති කරනව විතරක් නෙමෙයි අනිත් අයට වෙනත් හොඳවැඩක් කරන්න තියන කාලයත් නාස්ති කරනව. ඒ විතරක් නෙමෙයි සමහර කතා නිසා අහගෙන ඉන්න අයගෙ කෙලෙස් ඇවිස්සීමෙන් ඒ අයව තවත් අකුසල් කරන්න පොළඹවනව. ඒ හින්ද සම්ඵප්‍රලා‍පයෙන් වැ‍ලකෙන්න කියල බුදුන් වහන්සේ දක්වල තියනව.

තැන් තැන් වල කල්ලි ගැහිල කරන අනවශ්‍ය විහිළු තහළු වලින් යුක්ත කතා මෙන්ම අහන කියන කාටවත් ප්‍රයෝජනයක් නැති ඇත්ත බොරැ මිශ්‍ර කරල කියන කතාත්. නරියගෙයි හාවගෙයි කතා, ඇම්ඩන්ගෙ කතා ආදියත් , කිසිදු ප්‍රතිජනනාත්මක අදහස් නැති දේශපාලය පිළිබඳ කතා මෙන්ම රාම රාවනා වැනි ප්‍රබන්ධාත්මක කතාත් සම්ඵප්‍රලාප ගණයට අයත් වෙනව. යම් කිසි උපදේශයක් ඉගැන්වීමට ප්‍රබන්ධ කරන ලද කතා අසත්‍ය වුනත් ප්‍රයෝජනයක් තිබෙන හින්ද ප්‍රලාප වලට අයිති වෙන්නෙ නැහැ.

කියන ලද ප්‍රලාප අනිත් අය පිළිගත්තොත් අකුසලය විශාලයි. පිළිගත්තෙ නැත්නම් කුඩා අකුසලයක් වෙන්නෙ. සාමාන්‍යයෙන් සම්ඵප්‍රලාප හින්ද සිදුවන අකුසල් විශාල නැහැ ඒත් නැවත නැවත වර්ණනා කර කර රසවත් කර කර කියන්න ගියොත් නම් වැඩි අකුසලයක් සිදුකර ගන්නව. අහන කෙනා ඒව අහල සිදුකරගන්න අවැඩවල් වල හැටියටත් මෙයින් සිදුවන අකුසල් ප්‍රමාණය වෙනස් වෙනව. විශාල අකුසල් සිදු නොවෙන හින්ද මුසාවාදයෙ තරම් විපාක ලැබෙන්නෙ නැහැ මේකෙන්.
Reactions: 


පරැෂ වචනය

අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරැෂ වචනය වශයෙන් හඳුන්වනව. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනව.

1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි

ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරැෂ වචන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරැෂ වචන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.

ආක්‍රෝශ කිරීමේ ආකාර දහය

අ‍ක්‍රෝශ කිරී‍මේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.

1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.

පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.

2. නාමයෙන් අක්‍රෝශ කිරීම.

ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් ති‍යන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.

3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.

ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.

4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.

ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.

5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.

වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.

6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.

යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.

7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.

කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව

8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.

පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.

9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.

කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.

10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.

ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.


පරැෂ වච‍නයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.


ගුණවත් අයට පරැෂ වචනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.

Reactions: 


පිශුන වචනය හෙවත් කේලාම්


යම් වචනයක් කියු විට අහන කෙනාට තමාව ප්‍රිය අයකු වෙලා වෙනත් කෙනෙකු අප්‍රිය අයකු බවට පත්වෙනවනම් එම වචනය පිශුනවචනයක් කියල හඳුන්වනව. තවත් ක්‍රමයකට කිව්වොත් සමඟියෙන් ඉන්න දෙන්නෙක්ව වෙන් කිරීම සඳහා කියන වචන පිශුන වචන හෙවත් කේලාම් කියල හඳුන්වනව.

පිශුන වචනයෙන් අකුසල් සිදුවෙන්න කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනෙ

1. භේද කළ යුතු අයෙක් සිටීම
2. එම පුද්ගලයා සමඟ තවත් අයෙකුව භේද කිරීමේ අදහස ඇතිවීම
3. භේද කිරීම පිණිස යම් කිසිවක් කීම
4. ඇසූ තැනැත්තා විසින් එය තේරැම් ගැනීම

අනුන්ව බිඳවන්න කියන වචන සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. යම් කිසි සත්‍ය කරැණක් වුනත් අනුන් බිඳවීමේ අදහසක් නැතිව කෙනෙකුට වෙන්න පුළුවන් අන්තරායකින් මුදවාගැනීම සඳහා පැවසීමෙන් එයින් දෙදෙනෙකුගේ බිඳිමක් සිදු වුනත් කියපු කෙනාට කේලාම් කීමේ අකුසලය සිදු වෙන්නෙ නැහැ. ඒත් සත්‍ය කරැණක් වුනත් බිඳවන අදහසින් කියන කෙ‍නාට අකුසලය සිදුවෙනව. කේලමක් කියූ පසු අදාල පුද්ගලයන් දෙදෙනා අතර භේද වීමක් සිදු වුනේ නැත්නම් ඒක සාමාන්‍ය අකුසලයක් බවට පත් වෙනව. භේද වුනොත් එය මහා අකුසලයක් බවට පත් වෙනව.

කේලාම් කීමේ අකුසලයේ කුඩා විශාල බව

බිඳවනු ලැබුයේ සීලයෙන් ගුණයෙන් හීන අය නම් කුඩා අකුසලයක් සිදුවෙන්නෙ. ගුණවත් අයව බිඳවීමෙන් විශාල අකුසල් සිදුවේ. සත්‍ය කරැණු කියා බිඳවීම මගින් මඳ අකුසලයක්ද අමුතුවෙන් බොරැ ගොතා කීමෙන් විශාල අකුසල් ප්‍රමාණයක්ද හිමිවෙනව. කේලාම් කීමට හේතුවුන කෙලෙස්වල තියුණු බව මඳ බව අනුවද සිදු වන අකුසල් ප්‍රමාණය වෙනස් වෙනව. කේලාම් කීමේ විපාක කලින් සඳහන් කළ මුසාවාදයේ විපාකයන්ට සමානයි.

Reactions: 


මුසාවාදය

නුන්ව රවටන අදහසින්, ඇති දෙය නැතැයි කියාද, නැති දෙය ඇතැයි කියාද ,‍ නොවූ දෙය වුනායයි කියාද, ‍වුනු දෙය නොවුනායයි කියාද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත සංඥා ආදී සංඥා කිරීම් ආදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය කියල හඳුන්වනව.

මේ මුසාවාද අකුසලය සම්පූර්ණ වීමට කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනෙ.

1. කියන කරැණ බොරැවක් වෙන්න ඕනෙ
2. අනුන් රවට්ටන්න ඕනෙ කියල අදහසක් ඇතිවෙන්න ‍ඕනෙ
3. තමන් රවට්ටන්න හදන දේ අනිත් අයට අඟවන්න ඕනෙ
4. ඒ අඟවන දේ අනිත් අය තේරම් ගන්න ඕනෙ

කියන දේ බොරැවක් වුනත් නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අහන කෙනාට තේරැම් ගත නොහැකි වුනොත් මුසාවාද අකුසලය සිදුවෙන්නෙ නැහැ. වැරදීමෙන් කියවෙන බොරැ වලිනුත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඉටුකිරීමේ අදහසින් පොරොන්දුවක් වෙලා එය ඉටු කරන්න නොපුළුවන් වීම හින්දත් අකුසල් වෙන්නෙ නැහැ. ඒත් ඉටු නොකරන අදහසින් පොරොන්දුවක් වෙන කෙනාට එ‍වලෙම අකුසලය සිදුවෙනව. පසුඅවස්ථාවක් ඒක ඉෂ්ථ කලත් අකු‍සලෙන් මිදෙන්නෙ නැහැ.

අනුන් ලවා බොරැ කියවන කොට කියන කියවන දෙන්නටම අකුසල් සිදුවෙනව. ඒත් වෙනත් කෙනෙකුගෙ නියෝගයකින් තවත් අයෙකුට බොරැ පණිවුඩයක් ගෙනයන කෙනෙක් එය බොරැවක් බව නොදැන රැවටීමේ අදහසින් තොරව නියෝගය ඉටුකිරීමක් වශයෙන් කියුවනම්, නියෝග කළ තැනැත්තාට මිස පණිවුඩය රැගෙන ගිය කෙනාට අකුසලය සිදුවෙන්නෙ නැහැ. දීර්ඝ කාලයක් පවතින විධිහට බිත්තිවල, බොඩ් ලැලි වැනි දේවල් වල බොරැ ලියා තැබීම මඟින් ඒවා කියවා රැවටෙන අයගේ ගණනට මුසාවාද අකුසලය සිද්ධවෙනව. ප්‍රවෘත්ති පත්‍රවල සඟරාවල හා පොත් වල මාර්ගයෙන් බොරැ ප්‍රචාරය කරල අයට ඒවා බලල රැ‍වටයන් අයගේ ප්‍ර‍මාණයට අකුසල් සිදුවෙනව.

බොරැකීම නොයෙක් පව් වැඩ වලට වුවමනා වෙන දෙයක්. මොකද කරපු වැරදි වැඩ අහු වෙන එකෙන් වළක්වන්න බොරැ කියන්න වෙනව. ඉතින් කරපු වැරදි වැඩෙයි ඒක වහගන්න කියන බොරැයි හින්ද අකුසල් දෙකක් සිද්ධ වෙනව. ඒක හින්ද බුදු හාමුදුරැවො කියල තියනව බොරැ කියන කෙනාට නොකරන්න බැරි පවක් නැහැ කියල. ඇයි ඉතින් දන්නවනෙ ඕනෙම වැරදිවැඩක් කරල බොරැවෙන් ඒක වහගන්න පුළුවන් කියල. බොරැ නොකියන කෙනා අතින් පව් වැඩ සිදුවෙනව අඩුයි. මොකද එයා දන්නව කරන වැරදි වැඩ අහුවුනොත් ඇත්ත කියන්න වෙනව කියල. ඇත්ත කියන්න වුනොත් තමන්ගෙ ආත්මගරැත්වය නැතිවෙන‍ව. ඉතින් ඊට වඩා හොඳයි වැරදි වැඩ නොකර ඉන්න එක කියල හිතල ඒවයින් වැළකෙන්න බලනව. ‍ලෝකෙ ඉන්න නුවණ තියන හැමෝම බොරැව පිළිකුල් කරනව. හැම ආගමකම පව් ලයිස්තුවක් තියනවනෙ ඒ හැම එකකම බොරැ කීම පාපයක් කියල දක්වල තියනව. තමන් බෝධි සත්වයන් වශයෙන් හිටපු කාලෙ සමහර අවස්ථාවල නොයෙක් පව් කරල ති‍බුනත් නියත විවරණ ලැබුණායින් පස්සෙ අනුන්ට හාණිවෙන විධිහට එක බොරැවක්වත් නොකියු බව බුදුන් වහන්සේ පෙන්වල දීල තියනව. ඒකෙන් පේනවනෙ බොරැ කියන ඒක කොච්චර නරක දෙයක්ද කියල.


මුසාවාදයෙන් සිදුවන අකුසලයේ කුඩා විශාල භාවය.


සෙල්ලමට හෝ යමක් නොදී ‍සිටිමේ අරමුණින් ඇති දේ සැඟවීමට හෝ කුඩා දරැවන් නැළැවීම සඳහා හෝ කරපු වැරැද්දක් වහගැනීමට හෝ කියන බොරැ වලින් සිදු වන අකුසලය කුඩායි. "කරනවමයි" "දෙනවමයි" කියමින් අන්අයව රැවටීම මඟින් විශාල වශයෙන් අකුසල් සිදු වෙනව. යම් කිසිවෙකු හෝ දෙයක් සාක්ෂ්‍ය වශයෙන් තබල "අම්ම පල්ල" " දෙවියන් පල්ල" වශයෙන් බොරැකීමෙන් කලින් කියු අවස්ථාවලටත් වඩා අකුසල් සිදුවෙනව. රවටන පුද්ගලයාගේ ගුණවත් භාවය සිල්වත් භාවය අනුවත් ඇතිවන කෙලෙස් ප්‍රමාණය අනුවත් අකුසල් සිදුවීම වැඩියි. බොරැවෙන් සිදුවන හාණියේ අලාභයේ ප්‍රමාණාත්මක බව අනුවද සිදුවන අකුසලය වෙනස් වෙයි.


බොරැ කීමේ විපාක

‍මෙලොවදී බොරැ කියන අය නොයෙක් විදිහෙ නින්දාවලට ලක්වෙනව. කියන දේවල් කවුරැවත් විශ්වාස කරන්නෙ නැති ගනන් ගන්නෙ නැති බවට පත්වෙනව. සමහර අවස්ථාවලදි නොයෙක් දඬුවම් වලට ලක්වෙනව. මරණින් මතු නර‍කයේ ඉපිද නොයෙක් දුක් වලට මුහුණ දෙන්න වෙනව. ප්‍රේත ආත්ම වල ඉපදී නොයෙක් දුක් කම් කටොළු වලට මුහුණ දෙන්න සිදුවෙනව. නැවත මිනිස් ආත්මයක් ලබා ගත්තත් නොකළ වරදවල් වලට අහුවෙලා නින්දා ලබනව, දඬුවම් ලබනව. ගොළු බවට පත්වෙනව. කට ගඳ ගහන්න ගන්නව. අශෝභන දත් ඇති කට විරෑප වූවන් බවට පත්වෙනව. නොයෙක් මුඛ රෝගවලින් දුක් විඳින්න සිදුවෙනව. අමිහිරි කට හඬ ඇති අය බවට පත්වෙනව. දරැවන් නැති අය බවට පත් වෙනව. උපන් දරැවෝත් අකීකරැ දරැවන් බවට පත්වී දුක් ගෙන දීමට සමත් වෙනව.

Reactions: 


කාමමිථ්‍යාචාරය යනු කුමක්ද?


කාමමිථ්‍යචාරය යනු කාමයෙහි වරදවා හැසිරීමයි. එනම් ලෝකචාරිත්‍රයට සදාචාරයට අනුකූල නොවන පරිදි කාමයෙහි හැසිරීම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මෙයින් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ලිංගික හැඟිම් කිසියම් පාලයනයකින් යුතුව සදාචාර සම්පන්නව භාවිත කිරීමයි. ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. තමන්ව ආරක්ෂා කරන පිරිමියකු සිටිත්දී වෙනත් පිරිමින් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. හිමියෙකු නොමැති මව් පිය ‍සහෝදරාදීන් රකින ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරැෂයින්ට පමණක් කාමමිථාචාර අකුසලය සිදුවෙනව. ස්වාමියකු විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සමඟ කාමයෙහි වරදවා හැසිරීමෙන් දෙදෙනාටම අකුසල් සිදුවෙනව.

කාමමිථ්‍යාචාරය සිදුවීමට පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ

1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

අනුන් ලවා ප්‍රාණඝාතඅකුසලය සිදුකරවන විට එය කරන හා කරවන දෙදෙනාටම අකුසලය සිදු වුවත් මෙහිදී අනුන් ලවා කරවන තැනැත්තාට අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. වෙනත් කෙනෙකුගේ තර්ජනයක් නිසා සිදු කලත්, කරන කෙනාට මිසක් තර්ජනය කළ තැනැත්තාට කාමමිථ්‍යාචාර අකුසලය සිදු වෙන්නෙ නැහැ.

කාමමිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

සිල්වත් ගුණවත් අය සමඟ මිථ්‍යාචාරයේ යෙදීමෙන් වැඩි වශයෙන් අකුසල් ‍සිදුවෙයි. ගුණ රහිත අය සමඟ යෙදීමෙන් අල්ප වශයෙන් අකුසල් සිදුවෙයි. සිල්වත් අය දූෂණයෙන් විශාල අකුසල් සිදුවෙයි. ගුණ හීනයන් සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදෙත්දී බලෙන් යෙදීමෙන් සිදුවන අකුසල් ප්‍ර‍මාණය වැඩියි. දෙදෙනාගේම කැමැත්තෙන් සිදු වනවිට අඩුයි. දෙදෙනාගේ කැමැත්ත යටතේ සිදු වුනත් ඇතිවන කෙලෙස් වල ප්‍රමාණය හා කෲර ලෙස යෙදීම මෘදු ලෙස යෙදීම ව‍‍ශයෙන් සැලකීමෙන් ලැබෙන අකුස‍ලය අඩු වැඩි වෙනව.

කාමමිථ්‍යාචාරයේ විපාක

මෙලොවදී කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නන් සමාජයේ නින්දාවට ලක්වෙනව. සමහර අවස්ථාවලදී අනුන්ගේ පහරදීම් වලට පවා ලක් වෙන්න පුළුවන්. එවැනි කඩු පොලු කිණිසි වලින් පහරදීම් වලින් වෙඩි තැබීම් වලින් මරණයට පත් වෙන්න වුනත් සිදුවිය හැකියි. දූෂණ චෝදනා වලින් හිර ගෙවල් වල ලගින්න සිදුවිය හැකියි. මරණෙන් පසුව අපාගත වෙනව. විශාල කාලයක් අපායේ දුක් විඳින්නට සිදුවෙනව. අ‍පායෙන් මිදී නැවත වෙනත් තැනක උපදීන අවස්ථාවල බොහෝ දුක් විඳල තමයි ඉපදෙන්නෙ. මිනිසත් බව ලැබුවත් නපුංසකයෙක් බවට පත් වෙනව. පිරිමියකු වෙලා හිටපු අය ගැහැණුවෙලා උපදිනව ගැහැණු අය ස්ත්‍රී භාවයෙන් මිදෙන්නෙ නැහැ. විරෑප ශරීරයක් ලබනව මිනිසුන්ට අප්‍රිය වෙනව. තමාට සිටින සතුරන් ප්‍රමාණය වැඩි වෙනව. සැම විටම දරැණු රෝග වලින් පෙළෙන්නන් බවට පත්වෙනව.




Reactions: 


අදත්තාදානය යනු?


අනුන්ට අයිති දෙයක් ඒක අයිති තැනැත්තාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන් වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන අකුසලය කියල හඳුන්වනව.

අදත්තාදානය සිදු වීම සඳහා පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ. එම කරැණු වලින් එක් කරැණක් හරි සම්පූර්ණ වුනේ නැත්නම් අදත්තාදාන අකුසලය සිදුවෙන්නෙ නැහැ.

1.අන් සතු වස්තුවක් වීම
2. අන් සතු වස්තුවක් බව දැනීම
3.පැහැරගනු කැමති සිත
4.පැහැර ගැනීමට උපක්‍රම කිරීම
5.වස්තුව ගැනීම

යම් කිසි වස්තුවක් සොර සිතින් ගත්තත් ඒක අයිතිකාරයෙක් නැති වස්තුවක් නම් එයින් අදත්තාදාන අකුසලය සිදු වෙන්නෙ නැහැ. අයිති කාරයෙක් ඉන්න අයිතිකරැ නොදුන් වස්තුවක් වුනත් හොර හිතකින් තොරව අයිතිකාරය ගැන විශ්වාසය තියල ගත්තොත් ඒත් අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. අනුන් සතු වුනත් ඒක තමන්ගෙ දෙයක් කියල හිතල අරගත්තොත් එහිදිත් අදත්තාදාන අකුසලය සිද්ද වෙන්නෙ නැහැ.

අදත්තාදාන අකුසලය සිද්ධවෙන්න පුළුවන් ක්‍රම විසි පහක් බුදුන් වහන්සේ දක්වල තියනව ඒකට කියනව පස්විසි අවහාරය කියල. ඒ විසි පහ තවත් පහ බැගින් වූ කොටස් පහකට බෙදල තියනව.

නානා භාණ්ඩ පඤ්චකය

1.අනුන්ට අයිති දෙයක් නඩු කියා තමන්ට අයිති කරගැනීම එක් අදත්තාදාන ක්‍රමයක්. මෙහිදී අයිති තැනැත්තා තමන්ට ඒක ආයෙත් ලැබෙන්නෙ නැහැ කියන අදහසට ආපු ගමන් අයිතිකරගත් පුද්ගලයාට අකුසලය සිදුවෙනව.

2.තමන් විසින් අරගෙන යන අනුන් සතු දෙයක් සොර සිතින් ගැනීම තවත් ක්‍රමයක්. මෙහිදී ගෙනියන පුද්ගලයා "අයිති කාරයට නොදී මම අරගන්නව" කියල හිතල හිසේ තිබ්බ දෙයක් කරට ගත්තම, නැත්නම් එක් අතක තිබ්බ දෙයක් අනෙක් අතට ගත්තම ඒ කියන්නෙ තිබූ තැනින් වෙනත් තැනකට මාරැ කලහම අදත්තාදාන අකුසලය සිදුවෙනව. එහෙම මාරැ කරපුදේ පස්සෙ අයිතිකාරයට දුන්නත් අකුස‍ලයෙන් මිදෙන්නෙ නැහැ. ගෙන යන කෙනා අයිති කාරයට නොදී ගන්න ඕනෙ කියල හිතුවත් තියන තැනින් වෙනත් තැනකට මාරැ කලේ නැත්නම් අකුසලයක් සිදුවෙන්නෙ නැහැ.

3.තමන් වෙත පරිස්සමට තැබූ අන්‍යයන්ට අයිති දෙයක් නොදී ගැනීම තවත් අවස්ථාවක්. මෙහිදී නැවත ලබාගන්න හැකි වෙයි කියල අයිති කාරය හිතන තාක් අකුසලය සිදු වන්නෙ නැහැ. ඒත් ඒ තැනැත්ත ‍ "මේක නම් මට ආයෙ ලැබෙන්නෙ නැහැ" කියල බලාපොරොත්තු අත්හැර ගත්ත ගමන් අකුසලය සිදු වෙනව.

4. වෙනත් කෙනෙක් ගෙන යන අනුන් සතු දෙයක් ඒ ගෙන යන කෙනා ලව්වා ගෙන්වා ගැනීම තවත් අදත්තාදානය සිදු විය හැකි අවස්ථාවක් මෙහිදී ගෙන යන කෙනා මුලින් ගමන් කරමින් හිටපු මාර්ගයෙන් පිටතට එක් පයක් තබල දෙවන පියවර එසවුන ගමන් අකුසලය සිදු වෙනව.

5.යම් කිසි භාණ්ඩයක් සොර සිතින් තිබෙන තැනින් ගැනීම තවත් අදත්තාදානය සිදුවන ක්‍රමයක්. මෙහිදී එම භාණ්ඩය තිබෙන තැනින් ඔසවනවත් එක්කම අකුසලය සිදු වෙනව.

ඒක භාණ්ඩ පඤ්චකය

1. අනුන්ට අයිති සතෙකු නඩු කියා අයිති කර ගැනීම මෙහි පළමු වැන්නයි. මෙහිදීද සතා අයිති තැනැත්තා සතා තමාට නෙලැබෙන බව නිශ්චිතවම දැනගත් විට ගත් තැනැත්තාට අදත්තාදානය සිදු වෙනව.

2. තැනෙකින් තැනකට ගෙනියන අතර මගදී සතෙකු සොරා ගැනීම තවත් අදත්තාදානය සිදු වෙන ක්‍රමයක් මෙහිදී ද කර තබාගෙන යන සතා අතට ගැනීම එක් අතකින් ගෙනයන සතා අනිත් අතට ගැනීම වගේ හිටපු තැනින් වෙනස් කරනවාත් සමඟ අදත්තාදානය සිදුවෙනව.

දක්කගෙන යන සතෙක්ව නොදී ගන්න හිතල යන මාර්ගයෙන් වෙනත් මාර්ගයකට දක්කාගෙන යනකොට ඒ සතා එක් පයක් ඉදිරියට තබා ඉතිරි පය එසවු ගමන් අදත්තාදානය සිදු වෙනව.

3. තමා ළඟ ඉන්න අනුන්ට අයත් සතෙක්ව ‍නොදී ගැනීමේදී ඒ සතා අයිති පුද්ගලයා සතාව ආපිට නොලැබේවි කියල බලාපොරොත්තුව අත් හැරිය හැටියෙ අදත්තාදානය සිදු වෙනව.

4. ය‍ම් කෙනෙක් අනුන් සතු ‍සතෙක්ව ගෙනියන කොට බිය වද්දල හරි තර්ජනයකරල හරි ඔහු ලව්ව සතාව වෙනත් තැනකට ගෙන්වා අයිතිකර ගැනීමෙන් අදත්තාදාන අකුසලය සිදු වෙනව.

5. අන්සතු සතෙක් සිටින ‍තැනින් කෙලින්ම ගහින් සොරකම් කීරීමෙන් ද අකුසලය සිදුවෙන‍ව. නානා භාණ්ඩ පඤ්චකය භාණ්ඩ සඳහා පවසන ලද්දක් ඒක භාණ්ඩ පඤ්චකය සත්වයන් සඳහා පවසන ලද්දක් ඒකයි මේ දෙකේ වෙනස.

සාහත්ථික පඤ්චකය

1. සියතින්ම බඩු සොරකම් කිරීම මෙහිදී අකුසලය සිදුවන එක් ක්‍රමයක්.

2. අනුන් ලවා සොරකම් කිරීම තවත් ක්‍රමයක්.

3. ගෙන යන බඩු වලට බදු අයකරන තැනකදි බදු ගෙවන්නෙ නැතිව ගෙනියන්න, පස්සෙ අහුලගන්න හිතාගෙන බඩු ටික පිටතට විසි කිරීම, අනුන්ගේ ගෙයක තියෙන බඩු පස්සෙ අහුලගන්න අදහසින් පිටතට විසි කිරීම වගේ, විසි කිරීමෙන් නැවත ලබාගැනීමට උපක්‍රම කිරීමත් තවත් අදත්තාදානය සිදුවන ක්‍රමයක්.

4. අනුන් සතු දෙයක් ඉඩක් ලැබුන ගමන් සොරකම් කිරීමට නියම කර තැබීම තවත් අදත්තාදානය සිදුවෙන ක්‍රමයක්. මෙහිදී අණ ලැබූ තැනැත්තා අවුරැදු සියයකින් පස්සෙ හරි නොවරදවාම සොරකම සිදු කරනවනම්. සොරකම නියම කළ තැනැත්තාට ඒ අණ කරපු මොහොතෙම අකුසලය සිද්ධ වෙනව.

5. කිසියම් දෙයක් එය අයිති තැනැත්තාගේ ආසාව නැති කරවීමෙන් පැහැර ගැනීමත් අදත්තාදානය සිදුවන තවත් ආකාරයක් "මේක ඔයාට තිබුනට ප්‍රයොජනයක් නෑනෙ මට ‍ඒක දුන්නනම් ඉවරනෙ" වශයෙන් මුලා කර අන්සතු දේවල් ලබාගැනීමට යාමේදී මෙම අකුසලය සිදුවෙනව.

පුබ්බපයෝග පඤ්චකය

1. ‍භාණ්ඩ සොරකම් කරන්නටත් කලින් අදත්තාදාන අකුසලය සිදුවන ආකාර තියනව. අනුන් සතු දෙය ගැනීමට කරන උත්සාහයට ප්‍රයෝගය කියල කියනව. කෙනෙකුට සොරකම් කිරීමට නියම කිරීම එක් ප්‍රයෝගයක් (එක් වැඩක්) නියෝගය ලැබූ තැනැත්ත නියෝගය ඉටු කිරීම තවත් ප්‍රයෝගයක්. මෙම ප්‍රයෝග දෙකෙන් පළමුව සිද්ධවෙන්නෙ නියෝග කිරීම හින්ද ඒකට කියනව පූර්ව ප්‍රයෝග කියල. සොරකම් කරන්න අණ ලැබූ කෙනා ඒක නොවරදවාම කවදාහෝ සිදු කරන්නේ නම් අණ කරපු කෙනාට එවලේම අදත්තාදාන අකුසලය සිදු වෙනව.

2. ප්‍රයෝගය සමඟම අදත්තාදාන අකුසලය සිදුවන ආකාර තියෙනව. යම් ‍කිසි දෙයක් සියතින්ම සොරකම් කිරීම මෙහිදී අදාල දේ ඔසවනවාත් සමඟ අකුසලය සිදුවෙන‍ව, මායිම් ලකුණු වෙනස් කර බිම් සොරකම් කිරීම මෙහිදීත් මායම් ලකුන වෙනස් කරනවාත් සමඟ අකුසලය සිදුවෙනව.

3. කීපදෙනෙක් එකතුවෙලා කරන සොරකම් තියෙනව. මෙහිදී කිසියම් සොරකමක් සිදු කරන්නට කතා කරගෙන සොරකමට ගිය පිරිසෙන් එක්කෙනෙක් හරි අදාල දේ සොරකම් කළ විට සියළු දෙනාටම අදත්තාදාන අකුසලය සිදුවෙනව.

4. මේ වේලාවට මේ දෙය ගන්න කියල නියම කරල සොරකම් කරවන අවස්ථාවකදී නියෝගය ලබපු තැනැත්තා නියමිත කාලය ‍ආවහම නොවරදවාම එය සොරකම් කරනවනම් නියෝගය දුන්න කෙනාට අදත්තාදාන අකුසලය සිදුවෙනව.නියමිත වෙලාවෙදි කළේ නැත්නම් අකුසලය සිදු වෙන්නෙ නැහැ.

5. මම මේ වෙලා‍වට මේ විදිහට සංඥා කරන කොට අර තියන දෙය සොරකම් කල යුතුයි කියල සොරකම් කළ යුතු දෙය තිබෙන තැනට කෙනෙක්ව යවල නියමකරගත් ආකාරයට සංඥා කළ විට එම තැනැත්තා එම භාණ්ඩය තිබෙන තැනින් එසවු සැනින් දෙදෙනාටම අදත්තාදාන අකුසලය සිදුවෙනව.

ථෙය්‍යාවහාර පඤ්චකය

1. කිරැම් මිනුම් කිරීමේදී අඩු ‍ වැඩි කොට නොපෙනනසේ අන් සතු වස්තුව ගැනීම ථෙය්‍යවහාරය කියලහඳුන්වනව. ඇතැම් වෙළෙන්දෝ බඩු ගන්න කොට හොර තරාදි වලින් බඩු කිරල වැඩියෙන් අහුවෙන විදිහට ගන්නව දෙනකොට අඩුවෙන් කිරල දෙනව. මෙහිදී බඩු ගන්න කොට වැඩි ‍පුර ගත්ත කොටසට මුදල් ගෙවන්නෙ නැහැ ඒ වගෙම දෙන විට අඩු වෙන් දීල සම්පූර්ණ මුදලම ගන්නව.

පළුදු වුණු, දිරෑ, නොවටිනා බඩු හොඳ බඩු කියල විකුණල මුදල් ගන්න අයටත් රන් රිදී නොවෙන දේ රන් රිදී කියල පාට කර විකුණන අයටත්, මුදල් වෙනුවට හොර නෝට්ටු කාසි යොදා ගන්නා අයටත් මේ අදත්තාදාන අකුසලය සිදු‍වනව.

එසේම වර්තමානයේ නොයෙක් ආකාර බොරැ සම්මාදම් ආදියෙන් ක්‍රෙඩිට් කාඩ් වංචා, හොරෙන් විදුලිය ජලය දුරකථන පහසුකම් ගැනීම් අදත්තානය සිදුවන තවත් ක්‍රමයන්.

නුවණ නැති අය නොයෙක් ක්‍රම වලින් රවටා ඔවුන් සතු බඩු භාණ්ඩ මුදල් ආදිය ගැනීමත් ථෙය්‍යවහාරයට අයත්වෙනව.

2. අනුන් තලා පෙලා බිය ගන්වා මරණ තර්ජන කර ඔවුන් සතු වටිනා දේවල් සොරාගැනීම. යමෙකු පැහැර ගෙන ගොස් කප්පම් මුදල් ඉල්ලීම පසය්හාවහාර නම් වු අදත්තාදානයට අයත්.

3. භාණ්ඩ පිළිබඳව හා ප්‍රදේශක පිළිබඳව නිශ්චයක් නැතිව අනුන් සතු දේවල් සොරා ගැනීම පරිකප්පාවහාර නමින් හඳුන්වන‍ව. මුදල් සොරකම් කිරීමේ අදහසින් රාත්‍රී කාලයේ ගෙයකට ඇතුල්වෙලා ගෙයි තියන පෙට්ටියක් දැකල මෙහි මුදල් තියනවනම් ගන්නව කියල හිතල පෙට්ටිය ගෙයින් පිටතට ගත්විට සැබැවින්ම ඒකෙ මුදල් තිබ්බ නම් පෙට්ටිය ඔසවපු ගමන් අදත්තාදානය සිදුවෙන‍ව. මුදල් තිබ්බෙ නැත්නම් සිදුවෙන්නෙ නැහැ. පිටතට ගත්ත පෙට්ටිය පරීක්‍ෂාකර මුදල් නැතිව විසිකරල ගියහමත් අකුසලය සිදුවෙන්නෙ නැහැ. ඒත් ඒකෙ මුදල් තිබුනෙ නැතත් වෙනත් වටිනා දෙයක් තියනව දැකල ඒක ගන්න නැවත පෙට්ටිය උස්සගෙන ගියොත් දෙවෙනි සැරේට උස්සන කොට අදත්තාදානය සිදුවෙනව.

අනුන්ගේ ගෙයක තියන භාණ්‍ඩයක් දැකල "මේක පිටකරගන්න පුළුවන් වුනොත් ගන්නව, කවුරැ හරි දැක්කොත් තියල යනව" කියල හිතල යම් කිසි දෙයක් ගැනීම ප්‍රදේශ පිළිබඳ නියමයක් නැතිව ගැනීමයි. එහෙම කල්පනා කරල ඒක අතට ගත්ත කෙනා ගෙය ඇතුළෙ ඉන්න කල් අදත්තාදානය සිදුවෙන්නෙ නැහැ. භාණ්ඩෙ අරගෙන ගෙයින් පිට වුන ගමන් අකුසලය සිදුවෙනව.

4. වැඩ කරන වැඩ පලක හරි නාන තැනක එතනට ආපු අය තියපු කුඩා භාණ්ඩ වැලි වලින් ලීකුඩු වලින් හරි වහල තියල අයිති කාරයන් සොයල නොදැක ගිය වෙලාවේ ඒවා ගැනීම පටිඡන්නාවහාර කියන අදත්තාදානයට අයත්. එහෙම කරන විට තිබූ තැන්වලම බඩු වහන කෙනාට ඒවා ගන්න තුරැ අදත්තාදානය සිදු වෙන්නෙ නැහැ. බිම තියපු දෙයක් පසුව ගන්න අදහසින් පාගල යට කළා නම් ඒ වෙලේම අකුසලය සිදුවෙනව.

5. කඩදාසි වල නම් ලියල අකුලල භාණ්ඩවලට දාල යම් දෙයක් බෙදන අවස්ථාවක අන් කෙනෙකුට ගිය දෙයක් ගන්න හිතාගෙන තමාගේ නම තියන කඩදාසිය ඒ භාණ්ඩයට දාල ඒකෙ තිබුන එක තමන්ට ලැ‍බුන භාණ්ඩයට දාල සොරකම් කිරීම කුසාවහාර නම් අදත්තාදාන අකුසලයට අයත්වෙනව.

දත්තාදාන අකුසලයේ කුඩා බව විශාල බව සිදුවන ආකාරය

වටිනාකම මඳ වස්තුවක් සොරකම් කල විට විපාකය කුඩා වෙයි. වටිනාකම වැඩි වස්තුවක විපාකය වැඩියි. කුඩා වස්තුවකට ම ඳ වශයෙන්ද විශාල වස්තුවකට විශාල වශයෙන්ද අකුසල් සිදුවේ. ගුණවතුන්ගේ වස්තු සොරකම් කිරීමෙන් විශාල අකුසලයක් සිදුවෙයි.ගුණයෙන් අඩු අයගේ දේවල් ගැනීමෙන් අකුසල් මඳ වශයෙන් සිදුවේ. දුශ්ශීලයකුගේ දෙයක් ගැනීමට වඩා පන්සිල් රකින කෙනෙකුගේ දෙයක් ගැනීමේදී අකුසලය වැඩියි. ඊට වඩා උසස් සිල් ඇති අයගෙ දේවල් ගැනීම සීලය අනුව වැඩිවෙයි.ගුණ වලින් ගන්න තැනැත්තාත් අයිති තැනැත්තාත් සමාන වන විට යොදන උපක්‍රම හා ඒ අවස්ථාවේ ඇතිවන කෙලෙස් වල ප්‍රමාණය අනුව විපාකය අඩු වැඩි විය හැකියි. දරැණූ සිතකින් ගත් විට අකුසල් සිදුවීම වැඩියි. මෘදු සිතකින් අකුසල් අඩුයි.

අදත්තාදානයේ විපාක

අනුන් සතු දේවල් සොරකම් කල අය මෙලොවදීම බොහෝ නින්දා ලබන‍ව. අත්පා වලින් ගල් මුල් පොලු වලින් පහර දීම් වලට ලක්වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල පහරදීම නිසා තිරිසනුන් වගේ තැන් තැන් වල ‍මැරෙන්න සිදුවෙන‍ව. සිර ගෙවල් වලට කසපහර වලට අතපය කපා දාන දඬුවම් වලට ලක්වෙනව. මැරැණට පස්සෙ අපාගත වෙන‍ව. විලි වසාගන්න වස්ත්‍ර නැති වාසස්ථාන නැති පිපාසෙන් සාගින්නේ ඉන්න ප්‍රේතයො විදිහට ඉපදෙන්න වෙනව. තිරිසන්ව ඉපදීමෙන් බර ඇදීම් වලට යොදාගන්නා සතුන් බවට පත්ව දුක් විඳින්න සිදුවෙනව.

මිනිස් ආත්මයක් ලැ‍බුවොත් ඇට නහර මතු වුණ කුණු තැවරැණ ශරීර ඇතිව ‍නොයෙක් රෝග අතිව කිළිටි ඇඳුම් ඇති ගිය ගිය තැන බැණුම් වලට ලක්වෙන හිඟනන් බවට පත්වෙනව. ඉතා අමාරැවෙන් ආහාර ආදිය ලබන්නන් බවට පත්වෙනව. ධනය ලබාගන්න කොතරම් උත්සාහ කළත් ධනවත් වෙන්න බැරැව යනව. අමාරැවෙන් ධනය ලැබුනත් වැඩිකල් පවතින්නෙ නැති වෙනව. දෙමව්පියන්ගෙන් උරැම වුන දේවල් වුනත් වැඩිකල් පවතින්නෙ නැහැ. නිතරම දුගී දුප්පත්ව නොලැබීම ගැනම සිතමින් දුකින් සිටීමට සිදුවෙනව.

Reactions: 


දශ අකුශලයන් යනු මොනවාද?

සිතින් කයින් වචනින් සිදුවන අකුශල කර්ම දහයකි. ඒවා දශ අකුශලයන් ලෙස හඳුන්වයි. ඒවා නම්,

1.ප්‍රාණාති පාතය
2.අදත්තාදානය
3.කාම මිථ්‍යචාරය
4.මුසාවාදය
5.පිශුන වචනය
6.පරැෂ වචනය
7.සම්ප්‍රඵලාපය
8.අභිධ්‍යාව
9.ව්‍යාපාදය
10.මිථ්‍යා දෘෂ්ටිය

ඉදිරියට මේවායේ එක් එක් කරැණ ගැන විස්තර වශයෙන්ගෙන ඒමට බලා පොරොත්තු වෙමි. දහම් දැනුම නොමැත්තෝ ප්‍රඥාව ලබත්වා!

ප්‍රාණාතිපාත අකුශලය
පරමාර්ථ වශයෙන් ගත් විට "‍ප්‍රාණ" යනු එක් භවයකට ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්‍රිය පරම්පරාවයි "අතිපාත" යනු වහා හෙළීමයි. සරලව ගත් විට කිසියම් සත්වය‍කුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී යම් කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. මෙය බොහෝ සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි.

ප්‍රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය

1.පණ ඇති සතෙකු වීම
2.පණ ඇති සතෙකු බව දැනීම
3.මැරීමට සිත් පහළ වීම
4.මැරීමට උපක්‍රම කිරීම
5.ඒ උපක්‍රම නිසා මරණය සිදු වීම

මේ අංගයන් පහ සම්පූර්ණ නො‍වී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නෙවේ.යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි. ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා පොළව කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන සතුන්ගේ ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදු වේ.

යම් කිසි සත්වයකු මරන අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී මියගියේ නම් එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.වෙඩි වැදුන සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත අකුසලය සිදු වේ.මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්ම වැනි ක්‍රියාවකදී සත්වයකු මිය ගියද ‍අකුසල් සිදු නොවේ.

ප්‍රාණඝාතය සඳහා යොදන උපක්‍රම අනුව නැතහොත් ප්‍රයෝග අනුව ඒවා ආකාර හයකට බෙදිය හැක.

1.ස්ව හස්තික ප්‍රයෝග
මරනු සඳහා ගැසීම් කැපීම් ඇනීම් ආදී සියතින්ම කරන උපක්‍රමයන් මේ යටතට වැටේ

2.ආඥා ප්‍රයෝග
තමා විසින් සියතින්ම නොමරා අනෙකකු යොදවා කරනු ලබන උපක්‍රම. මේවා ‍සය ආකාර වෙයි.
(i) වස්තුව : මරනු ලබන සත්වයා වස්තුවයි. මරන්නට යෙදවු පුද්ගලයා අදාල සත්වයාම මරණ ලද නම් අණ කළ හා මැරැවා වූද දෙදෙනාටම අකුසලය සිදුවේ. වෙනත් සතෙකු මරන ලද නම් මැරැවාවූ අයට අකුසලය සිදුවේ අණ කළ තැනැත්තා නිදහස් වේ.

(ii) කාලය : රාත්‍රී කාලයේ මැරිය යුතු යයි අණ කළ විට කාලය වරදවා දිවා කාලයේ මරන ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය සිදු වේ.නියම කළ වෙලාවටම මරන ලද නම් දෙදෙනාටම අකුසලය හිමි‍ වෙයි.

(iii)අවකාශය : එනම් මැරීම කරන තැන. යම් තැනක සිටන සතෙකු එම ස්ථානයේදීම මැරීමට නියම කල විට වෙනත් ස්ථානයක දී මරණයට පත් කලේ නම් මැරෑ පුද්ගලයාට පමණක් අකුසලය හිමි වේ. උපදෙස් පරිදිම කරන ලද නම් දෙදෙනාටම අකුසලය සිදුවේ.

(iv) ආයුධය : පිහියකින් ඇණ මැරීමට නියම කල විට වෙඩි තබා මරණ ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය සිදුවේ. පිහියෙන්ම ඇණ මරණ ලද නම් දෙදෙනාටම අකුසලය අයිතිය.

(V) ඉරියව්ව : එනම් මරනු ලබන සත්වයා සිටින ඉරියව්වයි. නිදා සිටියදී මරන්නට කියු කල්හි ඇවිදින විට මරනු ලැබු වේ නම් ඝාතකයාට පමණක් අකුසල් සිදුවේ.

(Vi) ක්‍රියා විශේෂය : එනම් යොදන උපක්‍රමයයි. පහරදී මරන්නට නියම කළ විට වස පොවා මරණයට පත් කිරීම හේතුවෙන් උපක්‍රමය කළ තැනැත්තාට අකුසලය සිදුවේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.

3. නිස්සර්ගික ප්‍රයෝග
ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම,වෙඩි තැබීම ආදී වූ ක්‍රියා. මෙහිදී සත්වයකු මරනු පිණිස ස්ථාවර ප්‍රයෝගයක් කරනු ලැබූවිට මරන්නට බලාපොරොත්තුවූ සත්වයා මිය යාමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වේ. වෙනත් සතෙකු හසුවී මළ විට අකුසලය සිදු නොවේ. නියමයක් නැතිව ඇටවූ උගුල් ආදියට හසුවි කවර සතෙකු මිය ගියද ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුවහොත් ඒ වළ පවතින තුරැ එහි වැටී මියයන සත්වයකු පාසා අකුසල් සිදුවේ.

4.ස්ථාවර ප්‍රයෝග
උගුල් ඇටවීම, උල් සිටුවා තැබීම, තුවක්කු බැඳ තැබීම, බිම් බෝම්බ වළලා තැබීම යනාදිය

5.විද්‍යාමය ‍ප්‍රයෝග
රසායනික අවි ප්‍රහාර, විෂ වායු ප්‍රහාර, අංගම් පිඹීම්, සූනියම් කිරීම්, පිල්ලි යැවීම් ආදිය

6.සෘද්ධිමය ප්‍රයෝග
සමහර සත්වයන්ට අනුන් නැසිය හැකි සෘඬි උපතින්ම පිහිටා ඇත. ඔවුන් බොහෝ විට අමනුෂ්‍යයෝය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන්, බියගෙන දෙන වෙස් මවා පෙන්වීමෙන් මිනසුන් අතුළු සතුන් මැරීමේ හැකියාව ඇත.


මා පියන් මැරීම
තමාව මෙලොවට බිහි කළ දෙමාපියන් ගෙන් එක් අයකු හෝ දෙදෙනාම මරනු ලැබූ විට එය දෙවන ජාතියේදී නොවැරදීම විපාක දෙන අකුසලයක් බැවින් ආනන්තරිය කර්මයක් ලෙස එය සලකනු ලබයි. මනුෂ්‍යයකු විසින් නොදැන තම මව හෝ පියා මරණ ලැබූයේ නම් එහි දීද ආනන්තරිය අකුසලය සිදුවේ. එය පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය, චෞ‍ර චතුෂ්කය, සංග්‍රාම චතුෂ්කය, පලාල චතුෂ්කය වශයෙන් ආකාර පහක් දක්වා තිබේ.

1.ඒලක චතුෂ්කය : යම් කිසි තැනක දවල් එළුවෙක් නිදා සිටිනු දැක, රාත්‍රියේ ඌ මරන්නට සිතා ආයුධයක් ගෙන ගොස් සතාට පහර දෙන පිට එතන එළුවා නො‍මැතිව මව හෝ පියා සිට පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තරිය අකුසලය හිමි වෙයි. මව පියා මැරීමට සිතා පහර දුන් විට එහි එළුවෙකු සිට මිය ගියේ නම් පහර දුන් අයට ආනන්තරිය අකුසලය සිදු නොවේ.

2.චෞර චතුෂ්කය : රාත්‍රී කාලයේ සොරෙකැයි සිතා මව හෝ පියා මරන තැනැත්තාට අනන්තරිය අකුසලය සිදුවේ. මා පියන් යයි සිතා සොරෙකු මරන්නාට එම අකුසලය සිදු නොවේ.

3.සංග්‍රාම චතුෂ්කය : යුද්ධයකදී සතුරන් අතර පියා සිටිනු දැක "අනිත් සතුරන්ට පහර දුන් විට පියා පලා යති" සිතා සතුරන්ට පහර දෙන විට පියාට පහර වැදී මරණයට පත් වුවද එයින් ආනන්තරිය පාපය සිදු නොවේ. පහර දීම පියා මරනු පිණිස සිදුනොකරන ලද හෙයිනි. එහෙත් පියා ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබූ විට උණ්ඩය සිරැර විනිවිද ගොස් පියාට වැදෙන බව දැන වෙඩි තැබූ විට ඔහු මළේ නම් ආනන්තරිය අකුසලය සිදුවේ.

4.පලාල චතුෂ්කය : ආයුධය ශුඬ කර ගැනීමට පිදුරැ ගොඩකට ඇන්න විට මව හෝ පියා එහි සිට පහර වැදී මිය ගියේ නම් එහිදී ආනන්තරිය අකුසලය සිදු නොවේ.එහෙත් යම් කිසිවෙකු පිදුරැ ගොඩේ සිටින බව දැන දැන ඔහු මරමියි සිතා පිදුරැ ගොඩට ඇන්න විට මව හෝ පිය එහි සිට මිය ගියේ නම් ආනන්තරිය අකුසලය සිදුවේ.


දුකින් මිදවීම පිණිස සතුන් මැරීම
සමහරැ දුක් විඳින සතුන් දුකින් මිදවීමටය කියා සත්වයන් මරා දමයි. සත්වයාට තම ජීවිතයට වඩා ප්‍රිය ‍දෙයක් නොමැත. ඔවුන්ට එය නැති වීමට වඩා අන් දුකක් නැත කෙසේ හෝ පණ බේරා ගැනීමට සතුන් සැම විටම උත්සාහ කරයි. එබැවින් නිදහස් කිරීමට කියා සතෙකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කිරීමකි. දුකින් නිදහස් කිරීමටයි කියා සතුන් මරන අය තමන්ගේ මව හෝ පියා හෝ දරැවෙකු කොපමණ දුක් වින්දද මැරීමට ඉඩ නොහරියි.එයින්ම එම අදහස සාධාරණ අදහසක් නොවන බව පැහැදිලි වෙයි. කරැණා සහගත සිතින් කිසි කලක සතෙකු මැරිය නොහැක. සතකු මැරිය හැක්කේ ද්වේශ සහගත සිතකින්මය. ද්වේශ සහගත සිත සැම විටම අකුසලයකි. නිදහස් කිරීමටයි කියා කරැණාව ඇති වන්නේ බලවත් මෝහයෙන් ‍හා මඳ ද්වේශයෙන් යුතුවයි. චිත්ත චෙතසික ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නා අයට වැටහෙන්නේ එම ද්වේශ සහගත සිත කරැණා සහගත සිතක් ලෙසය. දුක් විඳින නිසා හෝ අන් කරැණක් නිසා හෝ සතෙකු මරණයට පත් කිරීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙයි.

සිය දිවි නසා ගැනීම
ද්වේෂ සහගත සිතින් කළ විට පාපයකි.එහෙත් එය දශ අකුසල කර්ම වලට අයත් වූ ප්‍රාණඝාත අකුසලයට අයත් නොවේ. තමාගෙන් අන්‍ය සත්වයකු මැරෑ විට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ. විනය පිටකයේ සඳහන් පරිදි භික්‍ෂුන් වහන්සේ නමක් මිනිසකු මැරැවහොත් පාරාජිකාවට පැමිණේ. සිය පණ නසා ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකටයි. සිය පණ හාණි කර ගැනීම හා පර පණ හාණි කිරීම යන දෙකෙහි විශාල වෙනසක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙයි.

ප්‍රාණඝාත අකුසලයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය
එනම් සිදුවන අකුසලයේ කුඩා බව විශාලත්වය මෙයින් පැහැදිලි කරයි. ප්‍රාණඝාත අකුසල් වල විපාක එක සමාන නොවේ මරනු ලැබූ සත්වයාගේ ගුණාගුණවල හැටියට, මැරීම කරන උපක්‍රමයන් ගේ හැටියට, ක්ලේශයන්ගේ හැටියට අකුසල් වල කුඩා බව විශාල බව තීරණය වෙයි. මරණ ලද සත්වයා ගුණවතකු වූ විට අකුශල කර්මය විශාල වෙයි. ගුණයෙන් අඩු අය මැරෑ විට කර්මය කුඩා වෙයි. මාපියන් හා රහතන් වහන්සේලාගේ ගුණ බොහෝ වෙයි. එබැවින් ඔවුන්ව මරණයට පත් කිරීම ආනන්තරිය අකුසල කර්මයට හේතු වෙයි. බුදු වරයන් වහන්සේලාගේ ජීවිත නැසිය නොහැකි බැවින් බුඬඝාත කර්මයක් නැත. මරනු ලබන සත්වයන් ගුණයෙන් සමවූ විට මහා ශරීර ඇති සත්වයා මැරීම වැඩි අකුසල විපාක ලැබීමට හේතු වෙයි මහා ශරීර ඇති සතකු මැරීමට විශාල උපක්‍රමයක් දැරීමට සිදුවීම එයට හේතුවයි. උපක්‍රමය අල්ප නිසා කුඩා සතකු මැරීමෙන් ලැබෙන අකුසල විපාකය කුඩා වෙයි. මැරීමේදී ඇතිවන ක්‍රෝධය වැඩි විට විපාකය වැඩිවෙයි ක්‍රොධය මඳ විට විපාකය අඩුයි.

ප්‍රාණඝාත අකුස‍ලයේ විපාක
ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි, ප්‍රේත ලෝකයෙහි, තිරිසන් ලෝකයෙහි, උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි. එවිට අඩු ආයුෂ වලන් ‍මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයා වෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිව උපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නෙමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක් වෙයි.පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වී පිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.
Reactions: 


බෞද්ධ ශී‍ලය යනු කුමක්ද?


ධර්මය ගැන කියැවීමෙන්.ඇසීමෙන් හා කල්පනා කිරීමෙන් ඒ සම්බන්ධයෙන් මූලික විශ්වාසයක් ඇතිවූ විට මාර්ගය අනුගමනය කිරීම පිළිබඳ පළමු පියවරවල් ගත හැක. මෙයින් අදහස් කරන්නේ කෙනෙකු ලෝකයෙහි ගත කරන ජීවිතය හසුරැවන සදාචාර ධර්ම පිළිබඳ විමර්ශනයකි. බුදු දහමෙහි අරමුණවූ සිත දියුණු කිරීම හා නිදහස් කිරීම පිළිබඳ කරැන අභ්‍යන්තර ජීවිතයට සම්බන්ධ වූවකි. එම අභ්‍යන්තරය ජීවිතය දෙසට හැරීමට පළමුව බාහිර ජීවිතයද සකස්කර ගැනීම අවශ්‍යය. මෙහිදී සියල්ල පෙනෙන තරම් සරල නොවන බව යලිත් කිව යුතුය. බෞද්ධ සදාචාරය වෙනත් අන් නීති සමූහයක් මෙන් සැලකිය නොහැකිය. යමක් තෝරා ගැනීමේදී එය තෝරා ගත් විට එය හඳුනා ගැනීම සඳහා නුවණද විවේක බුද්ධියද වර්ධනය වී තිබිය යුතුය. අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කිරීමත් විවේක බුද්ධිය වර්ධනය කිරීමත් යන දෙක අතරින් බුදු දහම පළමු වැන්නට වඩා දෙවැන්න කෙරෙහි අවධානය දක්වයි. අන්ධයකු මෙන් දක්වන කීකරැකම ගැන බුදු දහම ධෛර්යයක් නො දීම එයට හේතුවයි. එහෙයින් කිසියම් පුද්ගලයකු තමා අනුගමනය කරන්නේ නුවණට හුරැ නො වන පිළිවෙතක් යයි අවබෝධ වන තෙක්, ඔහුට රැචි වූ ඒ මාර්ගය අත්හැර දැමීමට සාමාන්‍යයෙන් නො පෙළ‍‍ඹේ.

බෞද්ධ සදාචාරය යනු ඇත්ත වශයෙන් ම ස්වාභාවික සදාචාරයකි. එය පදනම් වී තිබෙන්නේ පුද්ගලයා ගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් අත්දැකීම් ඇසුරින් ලත් අවබෝධය හා එක් මඟක් වෙනුවට අන් මඟක් තමා විසින්ම කරැණු සහිතව තෝරා ගැනීම කෙරෙහිය. මෙහිදී බාහිර නියෝජිත‍යකුගේ පිහිට පතන්නේ නැත.දෙවියන් වහන්සේගේ අණ පිළිපැදීමට ද කියන්නේ නැත. එසේ ම භය හෝ ප්‍රේමය ද සම්බන්ධ නො වේ. අදාල වන්නේ අත්හදා බැලීමෙන් හා විමසීමෙන් යුතුව කරන ලද තෝරා ගැනීම මත පදනම් වූ අවබෝධය පමණය.

බොද්ධයන් විසින් තමන්ගේ සදාචාර පද්ධතිය ඉදිරිපත් කරන පාඨයන්හි මේ ආකල්පය ප්‍රකට වේ. මෙහි නීතියක් නැත. එසේම කළ යුතුය නොකළ යුතුය යන විධානයක් ද නැත. ශික්ෂණයට අදාළ රීති කිහිපයක් බාර ගැනීමට බෞද්ධයාට ආරාධනාවක් කරනු ‍ලැබේ. සමඟිය හා සතුට සොයනු කෙනෙකුට අත්‍යාවශ්‍ය‍ සේ සැලකිය යුතු නිහඬ ආත්ම විශ්වාසය ලබා ගැනීම සඳහා ශික්ෂණයට අදාළ නීති ප්‍රයෝජනවත් යයි ඔහුට පෙනී යා හැකිය. මෙහිදී නීති දායකයෙක් නැත. අණ කිරීමක් නැත. එහෙත් මෙහි විද්‍යාමාන වන්නේ සාමාන්‍ය බුද්ධියට ද සමාජ පටිපාටියට ද යොමු කරන ලද ඉල්ලා සිටීමකි.

බුදුන් වහන්සේ‍ ගේ ඉගැන්වීමෙහි පදනම ලෙස පවත්නා සදාචාර අංශය තැනී තිබෙන්නේ පන්සිල් මඟිනි.

1.පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.
2.නුදුන් දෙය ගැනීමෙන් වැලකීමේ සිල් පදය සමාදම් වෙමි.
3.ඉඳුරන් වැරදි ලෙස භාවිතා කිරීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.
4.වැරදි වචනයෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.
5.මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන ‍මත් පැන් මත් ද්‍රව්‍ය ගැනීමෙන් වැලකීමේ සිල් පදය සමාදන් වෙමි.

පළමු සිල් පදයෙන් ජීවිතයේ සම්භාව්‍යත්වය අරභයා ක්‍රමයෙන් වැ‍ඩෙන සුළු වැටහීමක් ගම්‍ය වෙයි. 'නොමැරිය යුතුය' යි බෙහෙවින් පරවර්තනය කරනු ලබන මේ සිල්පදය ප්‍රාණීන් නො මනා ලෙස භාවිත කිරීම පීඩාවට පත් කිරීම හෝ කවර විධිහකින් හෝ හිංසා කිරීම නැවැත්විය යුතු බව ප්‍රකාශ කරයි. මරණයට පත් කිරීම හෝ අනවශ්‍ය ලෙස මැරීමෙන් වැළකීම ඉන් අදහස් කරන්නේ යයි මුලදී පෙනි යන්නට ඉඩ ඇත. එහෙත් ක්‍රම ක්‍රමයෙන් මේ ශික්ෂණයට අදාල රීතිය අළුත් වැදගත් කමක් දැරීමට ආරම්භ කරයි.

මගේ කුසගින්න නිවා ගැනීමෙන් ලැබෙන සොම්නස සඳහා ප්‍රාණින්ගේ ජීවිතය කැප කළ යුතුද, මා ශෝභන ලෙස සැරසීමට ඝාතනය කළ සතුන්ගේ සම් හාණ්ඩ ආදිය හාවිත කළ යුතුද යන ප්‍රශ්නය පැන නගී. එවිට ප්‍රශ්නය වඩා ගැඹුරට විහිදෙයි මගේ බලා පොරොත්තු බිඳ දමන විට හො මා අවඥාවට ලක් කරන විට හෝ මගේ මාරක චේතනා වලට කුමක් සිදු වන‍්නේද? මා අප්‍රිය කරන කිසිවකු පීඩනයට පත් වූ විට මට දැනෙන රහසිගත ප්‍රීතිය කුමක්ද? බෞද්ධ සදාචාර පද්ධතියෙහි පළමු වැනි සිල් පදය රැකීමට වගකීමෙන් යුක්තව උත්සාහ දරන විට ඔහු තුළ ගැටළු මෙන්ම සැක ද රාශියක් එන්න එන්නම මතුවෙයි. එහෙත් එවැනි ප්‍රශ්න ප්‍රතිඵල සහගතය. මුලදී ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න නිසා ජීවිතය අවුල් සහගත විය හැකිය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න වලට මුහුණ දී ජී‍විතය තුළින් විසඳා ගන්නා විට ඔහු ගේ ජීවිතයට අළුත් වැදගත් කමක්ද නව ආකල්පයක් ද උදාවෙයි. තමා කෙරෙහිද අනුන් කෙරෙහිද ගෞරවය පිළිබඳ නව හැඟීමක් ඔහුගේ චින්තනය තුළ පැතිර යයි.

දෙවැනි සිල් පදයෙන් අදහස් කරන්නේ නුදුන් දේ ගැනීමෙන් වැළකීමයි. මෙහිදී ද 'සොරකම් නොකරනු' යයි දැක්වෙන පහසු අර්ථ විවරණය පැහැදිලි ලෙසම ප්‍රමාණවත් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ, සජීවී වස්තු කෙරෙහි දැක්වීමට පළමු වැනි සිල් පදයෙන් අනුමත කළ ගෞරවය, අජීවී වස්තු හිමියන් වෙත දැක්වීමය. කඩා පැන දුවගොස් යම් යම් දේ ඩැහැ ගැනීම වෙනුවට ඒවා පිරිනමන තෙක් බලා සිටීම අවශ්‍ය ස්වභාවයක් බව 'නුදුන් දේ නොගැනීම' යන සිල් පදය කියා පායි. මේ නිසා අද ප්‍රචලිත වී පවත්නා 'මට උවමනායි' යන ආකල්පය වෙනුවට නියම වූත් විමර්ශනශීලී වූත් ඉවසීමක් පහළ වෙයි. පළමු සිල් පදයෙහි දී මෙන් නුදුන්දේ ගැනීමෙන් වැලකීමේ සිල් පදය රැකීමට ගන්නා අවංක උත්සාහය නිසා ගැඹුරැ ආත්ම විමර්ශනයකට එය තුඩු දෙයි.

තුන් වැන් සිල් පදය බෙහෙවින් අර්ථ දක්වනු ලබන්නේ ලිංගික විෂමාචාරයෙන් වැළකීමක් ලෙසට ය. එහෙත් මෙය එම සිල් පදයේ අංග සම්පූර්ණ අර්ථය නොවේ. මෙහිදී අපට අනුශාසනා කර තිබෙන්නේ කයද, කායික වින්දනයද වැරදි ලෙද භාවිත කිරීමෙන් වැළකීමටය. වැරදි ලෙද ලිංගික සේවනයෙහි යෙදීම මෙන්ම පමණ නොදැන ආහාර ගැනීමද මීට අයත්ය. තුන් වැනි සිල් පදය සමාදන් වන තැනැත්තා ගෙන් සිය සිරැරද, ඉන්ද්‍රියන් ද, ලිංගික අශාවන්ද තමා විසින් මෙහෙයවනු ලබන්නේ කවර ආකාරයටද යන්න ගැන සිහි කල්පනාව යොමු කිරීම අපේක්‍ෂා කරනු ‍ලැබේ.

මේ වනාහි තවුස් පිළිවෙත සඳහා කරනු ලබන ඉල්ලා සිටීමක් නොවේ. ලිංගික ජීවිතයෙන් බැහැර වීමට බෞද්ධයාට බල කර නැත. තමාට සොම්නස දනවන ආහාර ගැනීමෙන් හෝ තමාගේ සිත් ඇද ගන්නා වූද ඇස් කන් පිනවන්නා වූද කලා කෘති හෝ ස්වාභාවික දේ නැරඹීම හෝ ඒවාට සවන් දීමෙන් වැළකීම හෝ ඔහුගෙන් අපේක්‍ෂා කරන්නේ නැත. මෙම සිල් පදයෙන් ප්‍රකාශ කරන්නේ තමගේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ද ප්‍රමාණයද ගැන කෙනෙකු නිරන්තර වැටහීමකින් යුක්තව සිටිය යුතු බවය. ඉඳුරන් පවත්නේ ක්‍රියා කරවීමට විනා මැඩ පැවැත්වීමට හෝ වැරදි ලෙස භාවිතා කිරීමට නොවේ. ලිංගික හැසිරීමට ඉඩ ලැබෙන්නේ විවාහය කරණ කොට ගෙන නොව ඔවුනොවුන් කෙරෙහි දැක්වෙන ගෞරවය හා විශ්වාසය නිසාය.බැහැර කිරීමට සිදුවන්නේ හුදෙක් සුඛෝපභෝගීත්වය නොව ඕනෑ දෙයක් ගැන දැඩි ලෙස එල්බ ගෙන යෙදීමෙන් තම සිත එයින් වහල් කර ගැනීමද අනෙක් සතුන්ට හෝ පුද්ගලයන්ට පීඩා ඇති කිරීම යන කාරණාවන්ය.

වැරදි වචනය විවිධාකාර ලෙස හඳුන්වන විස්තර රාශියක් ධර්මයෙහි දැක්වෙයි.බොරැ කීම ඒවා අතරින් එක් කරැණකි. අපවාදය, කේලාම් කීම,ප්‍රලාපය, දුෂ්ට අදහසින් කරන කතා අසන්නන් තුළ ද්වේශය ප්‍රචණ්ඩභාවය ඇති කරවීමේ අරමුණෙන් සිදු කරන කථා, තමාට කියන ලද රහස් එළි දරව් කිරීම ආදිය මේ විස්තර වල ඇතුලත් වෙයි. සතරවන සිල් පදය රැකීමට දරන්නාවූ පරිශ්‍රමයෙන් තම තමා කෙරෙහි දැක්විය යුතු අවංක භාවය ඇති කර ගැනීම පිණිස අනවරත ගවේශණයක් කළ යුතුය.

සයිකෝසියාවෙන් පෙළෙන පුද්ගලයාගේ පටන් තමා ඉදිරිපත් කරන සාමාන්‍ය මතයට පටහැණි තොරතුරැ ඉතාමත් පහසුවෙන් අමතක කරන සාමාන්‍ය පුද්ගලයා දක්වා සිදුවන මේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණය. සතර වන සිල් පදය රැකීමට ගන්නා වූ අවංක උත්සාහය නිසා, සමහර දේවල් අපට අමතක වන්නේ කෙසේද අප කියන දෙය සමහර විට අනෙක් අය වැරදි ලෙස අර්ථ විවරණය කර‍න්නේ කෙසේද යන ප්‍රශ්ණ මතු කිරීමට සිදු වෙයි. එය සිදුවන්නේ අප තුළ පැහැදිලි බවක් නො පවත්නා නිසාද? එසේත් නැත්නම් අප තේරැම් ගැනීමට ඔවුන් අසමත් වීම නිසාද? කිසියම් කතාවක් අප නැවත කියන විට ඊට අතිරෙක අලංකාර පිවිසෙන්නේ කෙසේද? ආදී වූ කරැණු වඩාත් ලංව පරීක්‍ෂා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙයි.අප ළඟ සිටින කවරෙකුට හෝ අපගේ හැඟීම් කියා පෑමට යුහුසුළු වීමට පෙර,ඔවුන්‍ට පවසන දේ ගැන කල්පනා කාරී වෙමු. පවසන දෙයින් ඔවුන් තුළ කවර ප්‍රතිඵල ඇති වේදැයි විමසිලිමත් වෙමු.මේ දේවල් පැවසීමෙන් ඔවුන්ට හෝ අපට හෝ හානියක් වන්නට ඉඩක් ඇත්දැයි සිතා බලමු.

වැරදි වචනයෙන් වැළකීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ අතින් මුළුමනින්ම සාර්ථක වී ඇත්තේ ඉතාම ටික දෙනෙකුන් පමණි. මේ සතරවැනි සිල්පදය සුළු වශයෙන් හෝ රකින්නේ නම් මෙය රැකීමට පටන්ගත් වහාම ඉන් අප තුල ඇතිවන වෙනස අපට දැන ගැනීමට හැකිය. වේගයද ශබ්ද නැගීමද නැවතීමට පටන් ගන්නා හෙයින් මෙහි දී අපගේ ජීවිත වඩාත් මෘදු වන බවද නිහඬවන අපට දැනේ. මේ ගැන අඩුවෙන් සඳහන් කරන්නේ නම් සවන් දීම සඳහා අපට පෙරට වැඩි කාලයක් ලැබෙන බව සඳහන් කළ හැක.

මුළු බෞද්ධ සදාචාර පද්ධතියම අර්ථ විවරණය කිරීමට අදාළ වන ඉඟියක් පස් වැනි සිල් පදයෙහි ගැබ්ව ඇත.'මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන' දේවල් වලින් වැලකීම.සදාචාරය පිළිබඳ බෞද්ධ සංකල්පය අනුව හානිකර ලෙස සැලකිය යුත්තේ උවමනාවෙන් ම මනස අඳුරැ කර ගැනීමය. මෙම සිල් පදය මඟින් නිරෝගී භාවය,තීරණ ගැනීමේ ශක්තිය,බුද්ධිමත් භාවය දුර්වල නොවී පවත්වාගෙන යාමටද කළ කෝලාහල, හදිසි අනතුරැ, අපවාද, තිරිසන් ගති ආදියෙන් වැලකී නිවැරදි දිවි පෙවෙතක් ගත කිරීමටද පිටු වහලක් ලබා දෙයි.

බුදුන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම යනු භාවනා ක්‍රමයකි. එහි අරමුණ වන්නේ සිත පිරිසිඳු කොට එ මඟින් ඥානය හා ප්‍රඥාව පහළ කරගැනීම හා බාධාවකින් තොරව ඒවා පිළිබිඹු කිරීමට ද සැලැස්වීම ය. මේ සඳහා අත්‍යාවශ්‍ය සූදානම් වීමක් වශයෙන් සැක හා අවිනිශ්චිත භාවය හිර කර තබන, ලෝකය ඇති සැටියෙන් නොව අන් අයුරකින් බැලීමට මඟ පාදන, මානසික දෘෂ්ටියෙහි පැහැදිලිකමට හාණි පමුණුවන, එසේම මනස අඳුරැ කිරීමට හේතුවන මත් පැන් මත් ද්‍රව්‍ය ගැනීමෙන් වැලකී තමා හික්මවා ගැනීමට මේ පස් වැනි සිල් පදය හේතු වෙයි.


Reactions: 


බෞද්ධයකු වන්නේ කෙසේද?

බෞද්ධයකු වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණකි. එනම් බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ගමන් කිරීමත් උන් වහ‍න්සේ දේශනා කර වදාළ ධර්මය තම ජීවිතය තුලින් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීමත් යනු ඒ මාර්ගයයි.

කිසියම් පූජා උත්සවයක් පැ‍වැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞ‍රව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.

බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.

තිසරණය සමාදන් වීමේ බෞද්ධ ක්‍රමය පනවන ලද්දේ මෙම ශ්‍රද්ධාව ගැඹුරැ මෙන්ම තියුණු කර ගැනීම සඳහා උපක්‍රයමයක් ලෙසය. මෙහිදී,

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
“බුද්ධං සරණං ගච්ඡාමි (මම බුදුන් වහන්සේ සරණ යමි)”
“ධම්මං සරණං ගච්ඡාමි (මම ධර්ම රත්නය සරණ යමි)”
“සංඝං සරණං ගච්ඡාමි (මම සංඝ රත්නය සරණ යමි)”

යනුවෙන් තෙ‍වරක් පැවසීමෙන් තිසරණය තමන් තුළ තහවුරැ කර ගැනීමක් සිදුකර ගනු ලබයි. එහෙත් බුදුන් වහන්සේ සරණ යාමෙන් උන් වහන්සේ තම අනුගාමිකයන්හට එකිනෙකාගේ අරමුණු මුදුන් පත් කර දෙන බවට තමන් වහ‍න්සේ විසින් දෙන ලද කිසිදු පෞද්ගලික ඇපවීමක් ඉන් අදහස් නොවේ. ඇත්ත වශයෙන් උන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ඊට හාත්පසින් පටහැණි කරැණකි.

“පව් සිදු කරගන්නේ තමාය. තමා ම තමා කිලුටු කරගනියි. පවින් වැළකෙන්නේද තමාය. තමාම තමා පිරිසිඳු කර ගනියි. ශුද්ධිය හා අශුද්ධිය තම තමා කෙරෙහිම රඳා පවතී. කි‍සිවෙක් අනෙකකු පිරිසිඳු නොකරයි”


මෙහිදී සරණ යන්නෙන් පිහිට යන අදහස ගැනීම නිසා නොයෙක් වැරදි වැටහීම් වලට ලක් වී ඇත් බවක් පෙනෙන්නට තිබේ. නිවැරදි වචනය විය යුත්තේ පිහිට නොව “මග පෙන්වීම” යන පදයයි. එවිට පහත පරිදි එය නිවැරදි කළ හැකි වෙයි.

“මගේ ගවේශණයේදී බුදුන් වහන්සේගේ දර්ශනය මග පෙන්වීමක් ලෙස යොදා ගනිමි”
“මගේ ගවේශණයේදී ධර්ම රත්නනයේ අන්තර්ගතය මග පෙන්වීමක් ලෙස යොදා ගනිමි”
“මගේ ගවේශණයේදී සංඝ රත්නයේ ආදර්ශය මග පෙන්වීමක් ලෙස ලෙස යොදා ගනිමි”

බුදු රජාණන් වහන්සේගේ චරිතයෙන් උන්වහ‍න්සේ ලබාගත් අරමුණු වැන්නක් ලබා ගනු කැමති අයට ආධාරයක් සපයයි.

එසේම පිළිපැදිය යුතු මාර්ගයක් හා ලබා ගත යුතු ඉක්මවිය යුතු විවිධ අවස්ථා ද පිළිබඳ පියවරින් පියවරට කරන ලද සුපරික්‍ෂාකාරී විශ්ලේෂණයකින් යුතු, දේශනා සඳහා චාරිකාවෙහි යෙදී සිටිද්දී අධ්‍යාපනික, සාමාජයීය, සදාචාරාත්මක හා ආගමික අතින් විවිධ පසුබිම්වලට අයත් සහස්‍ර සංඛ්‍යාත මිනිස්සුන් ගේ අවශ්‍යතා හා හැකියාවලට අනුරෑප වන පරිදි විකාශනය කර ඇති, අති දීර්ඝ කාලයක් තුල නොකඩවා පැවත එන විස්තර සහිත ධර්මයෙන්ද විශාල පිටුවහලක් ලැබේ. ධර්මය පුහුණු කිරීමට පටන් ගැනීමත් සමඟම බුද්ධ ශ්‍රාවකයා විසින් ධර්මය කෙරෙහි විශ්වාසය තැබීමේ යුක්ති යුක්ත භාවය ගැන වඩ වඩාත් අචල බවට හා නියත බවට පත්වේ. ධර්මය ගැන ඔහු දන්නේ මඳක් වුවත් පුරැදු කරන්නේ බිඳක් වුවත් ධර්මය ඔහුට ආධාර දීමට හා පිහිට වීමට පටන්ගෙන ඇති බව ඔහු වටහා ගනී.

අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයට අයත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් බුදුන් වහන්සේ ධර්මය අනුගමනය කර ඇති බවද, අනුගමනය කරන බවද, අනුගමනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද, අනුගමනය කළ අය තමන්ගේ මුළු ශක්තිය හා අ‍වධානය ඊට කැප කිරීමට තීරණය කර ඇති බවද ඒ ධර්මය ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් වලංගුවූද සතුටු දායක වූද මාර්ගයක් ලෙස දුටු බවද වටහා ගැනීම සංඝ රත්නයේ මඟ පෙන්වීම ලබාගැනීම ලෙස දැක්විය හැක.සංඝ යන පදයට භික්‍ෂු සමාජය හෝ ශාසනය යනුවෙන් අර්ථ නිරෑපණය කළ හැක. එසේම ඒ පදය බුදුන් වහන්සේගේ අඩිපාරේ ගමන් කොට ඒ සඳහා තමන් දැරෑ ප්‍රයත්නයෙහි ප්‍රතිඵල නෙලාගත් පිරිසකගෙන් සැදි සමාගමක් ලෙසද දැක්විය හැකිය.
Reactions: 


සිදුහත් තවුසාණෝ සත්‍ය සොයා යාම

බුද්ධ දර්ශනය පහළ වුයේ ඉන්දියාවේ උතුරැ ප්‍රදේශයේදීය. එකල බුදු දහම මුළු ආසියාව පුරාම පැතිර පැවතුනි. එදා සිට මේ දක්වා කාලය තුල මෙම දර්ශනයට එක් එක් රටවල පැවති පාරම්පරික විශ්වාස හා ඇදහිලි මිශ්‍රවිය. එය යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵල ඇති කිරීමටද හේතු විය.බුද්ධ යන පදය වටහාගත් තැනැත්තා නොහොත් පිබිදීමට පත් තැනැත්තා යන අර්ථය ගෙන දෙන පූර්ණ අවබෝධයකින් සමන්විත තත්වයක් ලබාගත් සිද්ධාර්ථ ගෞතම නම් භාරතීය කුමාරයකු හැඳින්වීමට යොදන ලද නාමයකි. බුදුන් වහන්සේ මිනිස් බවෙන් වෙනස් වූ පුද්ගලයකු ලෙස තමන් වහ‍න්සේ විසින් කිසිවිටකත් හඳුන්වා නොදෙන ලදී.

උන්වහන්සේ දේශනා කළ ධර්මය මිනිසා විසින් විඳින දුක පිළිබඳ ප්‍රශ්නය වටා ගොඩ නැගී ඇත. බාහිර හෝ ස්වාභාවිකත්වය ඉක්මවා ගිය හෝ කිසියම් බලවේගයක පිළිසරණක් නොපතා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් එම දර්ශනයෙන් මිනිසාට පෙන්වා දෙයි. බුද්ධ මාර්ගය වැටී තිබෙන්නේ අවබෝධයෙන් පසක් කළ යුතු දර්ශණයක් සහ ඒ අවබෝධය තුලින් ඇතිවන බිය සහ දුක යන මේවායින් ලබන නිදහස වෙතය.බුදුන් වහන්සේ සිතීම සඳහා මුළුමනින්ම නිදහස පැවතීමේ වැදගත්කම ද ඉන් තොරව සත්‍යය හෝ ප්‍රඥාව පහළ විය නොහැකි බවද වීර්යය වැඩිය නොහැකි බවද අවධාරණයෙන් ප්‍රකාශ කළ සේක.

“අනුක්‍රමය ක‍රණ කොට හෝ පරම්පරාවෙන් පවතින නිසා හෝ ප්‍රවාදය නිසා හෝ පිටක සම්ප්‍රදාය උඩ හෝ තර්ක හේතුවෙන් හෝ න්‍යාය හේතුවෙන් හෝ ආකාර පරිවිතර්ක මඟින් හෝ සැලකිල්ලට භාජනය කරන ලද කිසියම් දෘෂ්ටියක් කෙරෙහි පහළ වුණු පක්‍ෂපාතීත්වය නිසා හෝ කෙනෙකු පිළිබඳව පෙනී යන හැකියාව නිසා හෝ ශ්‍රමණ තෙමේ අපගේ ගුරැවරයා යයි සිතා හෝ යමක් නො පිළිගත යුතුය. මේ ධර්ම කුසල් යයිද මේ ධර්ම නිවැරදි යයිද මේ ධර්ම ණුවනැත්තන් විසින් පසසනු ලැබේ යයි ද අනුගමනය කිරීමෙන් හා සමාදන් වීමෙන් හිත පිණිසද, සුව පිණිසද හේතුවන්නේ යයි ඔබටම වැටහෙන්නේ නම්, එවිට ඒවා පිළිගෙන ඒ අනුව පිළිපදින්න

ක්‍රි. පූ . 563 දී වෙසක් මස පුර පසළොස්වක් පුන් පොහෝ දින දඹදිව උතුරැ සීමාව අසල පිහිටි ලුම්බිනි නම් උයනේ දී සිද්ධාර්ථ ගෞතමයන් ව‍හන්සේ මෙලොව එළිය දකින ලදී. උන්වහන්සේ ගේ පියාවූ ශුද්ධෝදන රජතුමා හිමාලය පර්වතය පාමුල පිහිටි රාජධානියක් වූ ශාක්‍ය ජනපදයෙහි පාලකයා විය. (පසු කාලයේ දී ගෞතමයන් වහන්සේ හඳුන්වන ලද නම් රාශිය අතරින් එකකි ශාක්‍යමුනි නාමය. එහි අර්ථය ශාක්‍යයන්ගේ මුනිවරයා හෙවත් බුද්ධිමත් පුරැෂයා යනුයි.) උන්වහ‍න්සේගේ මව මහමායා දේවිය නම් වුවාය.

ළදරැ කුමාරයාණන් ගේ උපතද මුල් අවධියෙහි දී එතුමාණන් හැදුණු වැඩුණු අයුරැ ද පිළිබඳ ව අද්භූත කථා ප්‍රවෘත්ති රාශියක් පහළ වී ඇත. මෙබඳු වෘත්තාන්ත ගොඩනැගී යාම ආගමික නායකයන් නිරතවන කාර්ය භාරය හා සම්බන්ධව බැඳී පවත්නා සිද්ධියකි. එසේ වුවද බෙහෙවින් සරල වූ වාර්තා වල හුදෙක් සඳහන් වන්නේ ආදර්ශවත් බාල කාලයකින් පසුව සිදුහත් ගෞතමයන් වහන්සේ රණ ශූරයකුට අයත් කාය බලයකින්ද ප්‍රාඥයකුට හිමි බුද්ධි බලයකින්ද සමන්විතවූ උසස් හැදියාවෙන් යුතු තරැණයක් බවට පත්වී සිටි බවකි. දහසය වන වියට පා තැබූ එතුමාණෝ ඥාති සහෝදරියක වූ අතිශය රෑමත් යශෝදරා නම් කුමරිය සරණ පාවා ගත්හ. ‍ඔවුන් දෙදෙනාට දාව රාහුල නම් පුත් කුමරකු මෙලොවට බිහිවිය.

විසි නමවන වියේදී සිදුහත් ගෞතමයන් ව‍හන්සේ සිය රජ මැදුර, යොවුන් බිසව හා අළුත උපන් දරැ සිඟිත්තා ද හැර දමා ගිහිගෙයින් අබිනික්මන් කොට තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට පිවිසීමේ පුවත කල් යාමේදී සුරංගනා කතාවෙන්ද ජනකථා වෙන්ද මිශ්‍රවී වැඩී ගියේය. එහෙයින් එතුමාගේ ජීවිතය ගැන සරළ වාර්තාවකින් මෙසේ විස්තර කළ හැකිය. තිස් වසරකට ආසන්න කාලයක් මේ තරැණ කුමාරයාණන් ආරක්ෂාද සංවිධාන සැලසීමෙන් පාලනය කරන ලද පරිසරයක් යටතේ දිවි ගෙවූ නමුත් උපභෝග පරිභෝග සම්පත්තියෙන් අතිශය ආඪ්‍යවූ ජීවිතයක් ගත කළහ. එතුමාණන් උපත ලද පවුල සම්පත්තියෙන් සමෘද්ධිමත් ද ආචාර සමාචාරයෙන් ශිෂ්ට සම්පන්නද විය. සිය සිත් ඇදී ගිය කායික වූ ද බුද්ධිමත් වූ ද විවිධ අංශ කෙරෙහි උ‍ද්‍යෝගයෙන් නිරත වීම සඳහා එතුමාණන්ට අනුබලය නොඅඩුව ලැබිණි. සතුට ගෙන දිය හැකි හැම සුව පහසුවක් ද රැකවරණයක්ද එතුමාණන්ට සැපයිණ. එහෙත් තමන් අවට දක්නට ලැබුණු ආපදා සම්පන්න පීඩාකාරී පරිසරය නිසා එතුමාණෝ විටින් විට කැළඹීමට පත් විය. එයින් තමාට ගත කරන්නට ලැබුණු ජීවන ක්‍රමය අසාර වූවක්ය යන සැකයක් එතුමාණන් තුළ පහල විය. මේ නිසා එතු‍මාණෝ එකල නුවණැත්තන් ලෙස මහත් කීර්තියට පත්ව සිටියවුන් ගේ අවවාද හා අනුශාසනා පතා ඔවුන් වෙත ගියහ. එහෙත් තමන් ගේ ප්‍රශ්ණ වලට පිළිතුරැ ඔවුන් තුළ නො පැවති බව එතුමාට පසක් විය.

තමන් ගේ සිත් තුළ පහළ වූ නො සන්සුන් කම නිසා ගහි ගෙය අත් හැර දමා කිසිදු වස්තුවකට හිමිකම් නොදරන තවුස් දිවියකට එළඹීම සඳහා ගත් තීරණය අද වැනි දිනක පුදුමයක් ලෙසත් ඇතැම් විට වගකීමෙන් තොර ක්‍රියාවක් ලෙසත් පෙනී යා හැකිය. එහෙත් මීට සියවස් කිහිපයකට පෙර ඉන්දියාවේ එය අසාමාන්‍ය සිද්ධියක් නොවීය. ගෞතමයන් වහනසේ පිළිබඳ කථා ප්‍රවෘතීන් අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එතුමාණන් ගිහි ගෙය අත් හැර දැමීම නිසා නොව මිනිසාගේ දුකටත් අසහනයටත් හේතුව හා ප්‍රතිකාරය සොයනු වස් දැක් වූ අප්‍රතිහත ධෛර්යය නො පිරිහෙලා ගෙන යාමේ ප්‍රතිඑලයක් වශයෙන් එතුමාණන් තවුස් දිවි පෙවත ද බැහැර කිරීම නිසාය.

ආරම්භයේ එතුමාණන් අනුගමනය කළ ක්‍රියාමාර්ග බොහෝ දුරට ගතානුගතික විය. එතුමාණෝ තම රටවැසියන් ඇදහූ බමුණු දහම අණුව මහත් ප්‍රාමාණිකත්වයෙන් සලකන ලද බමුණන්ගේ උපදෙස් සොයා ගියහ. එහෙත් එතුමාණන් සෑහීමකට පත් වන අයුරින් කරැණු පහදා දීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන් අතරින් කිසිවෙක් සමත් නොවූහ. සිත කය දෙකට පැමිණෙන දුකෙන් ගැලවීම සඳහා සිරැර පීඩා‍වට පත් කරමින් තවුස් දම් රැකීම එකල පිළිගත් ප්‍රතිපත්තියක් විය. එහෙයින් එතුමාණෝද ඒ ක්‍රමය අත්හදා බැලූ හ. ගයාව අසල පිහි‍ටි උරැවෙල් වනයේ දී මාරාන්තික ලෙස තවුස් දම් රකිමින් උන් වහන්සේ හය වසරක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ. උග්‍ර ලෙස අනුගමනය කළ තවුස් දම් කරණ කොට ගෙන චිත්ත ශාන්තිය හා චිත්ත පාරිශුද්ධිය ලැබෙනු වෙනුවට තමන් ගේ නිරෝගි භාවය විනාශවීමද චින්තන ශක්තිය දුර්වල වීමද සිදුවූ අයුරැ උන්වහන්සේට එකවර වැටහිණ. කාම සුඛල්ලිකානුයෝගය අබිනික්මන මගින් අත්හැර දැමුවාක් මෙන් එතුමාණෝ මෙහිදී අත්තකිලමථානුයෝගයද බැහැර කිරීමට තීරණය කළහ. උන් වහ‍න්සේගේ සහාය සඳහා පැමිණි තවුසන්ගේ ප්‍රසාදයට එය හේතු නොවීය. එහෙත් එතුමා‍ණෝ අන්ත දෙකෙන්ම තොර වූ මධ්යනම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ වැදගත්කම වටහා ගත්හ. යළිත් ආහාර අනුභව කිරීමෙන් සිය සිරැර ප්‍රකෘතිමත් කර ගත් එතුමාණෝ ගසක් මුල වැඩ හිඳ භාවනා වැඩීම ඇරඹූහ. මුළු රැය මුළුල්ලේ අප්‍රතිහත වීර්යයයෙන් බවුන් වැඩීමෙහි නියැලුණු උන් වහන්සේ පසු දිනට පහන් වනවිට සිය ධර්මයෙහි පදනම වශයෙන් සැලකෙන කරැණු දෙකක් එනම් දුක ඇත්තේය යන සත්‍යයද ඉන් මිදීම සඳහා මගක්ද ඇත්තේය යන සත්‍යයද අවබෝධ කරගත් සේක. ඒ වනාහි අන්ත දෙකෙන් බැහැරව ගමන් කළ හැකි මධ්‍යම මාර්ගයක් විය. උන් වහන්සේ ඉතිරි පන්සාළිස් වසර තුළ උපදෙස් සොයා තමන් වෙත පැමිණි සියළු දෙනාට මේ මධ්‍යම මාර්ගය පහදා දෙමින් සංචාරක පැවිද්දෙකු ලෙස කල් ගෙවූ සේක.

බුද්ධත්වය ලබාගත් පසු උන්වහන්සේ පළමුවරට සැපත්වූ බරණැස් නගරය වනාහි හින්දු බැතිමතුන්ගේ පූජා නගරය විය. එම නගරය අසල පිහිටි සාරානාත් හි මිගදායේ දී උන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වන ලදී. උන්වහන්සේගේ ධර්මයෙහි වූ සිව් වැදෑරැම් ව්‍යුහය සරල ලෙස මෙහි ඉදිරිපත් කොට ඇත. එය ආර්ය සත්‍ය සතර ලෙසින් හඳුන්වයි.
එනම්,
1. දුක ඇත්තේය යන සත්‍යය
2. දුකට හේතුවක් ඇත්තේය යන සත්‍යය
3. දුක නැතිකළ හැක්කේ ය යන සත්‍යය
4. දුක නැති කිරීම සඳහා මාර්ගයක් ඇත්තේය යන සත්‍යය

සියළුම සැබෑ ආගමික නායකයින් මෙන් බුදුන් වහන්සේද තෘෂ්ණාව ලෝභය හා ඊර්ෂ්‍යාව පෞද්ගලික වූද සාමාජයීය වූද දුකට බෙහෙවින් තුඩූ දෙන්නේ යයි ඉගැන්වූ සේක.සතුන් බිලි දී පැ‍වැත්වෙන ඊනියා ආගමික පූජා විධි අවඥාවට ලක් කළ සේක. ශාස්තෘ වර‍යකු වශයෙන් උන් වහන්සේ ධනවතුන්ට හා බලවතුන්ට මෙන්ම දිළින්දන්ට හා දුබලයන්ටද එකසේ දහම් දෙසූ සේක. කුල හේදයෙහි පැවති පන්ති විෂමතා නොතැකූ උන් වහන්සේ උසස් කුලයන්හි උපන්නවුන්ට මෙන්ම කසළ ශෝධකයන්ටද පිහිටවූ සේක. තමන් අනුගමනය කිරීමට රිසි වූ හැම කෙනෙකුම තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ඇතුළත් කර ගත් සේක. මානසික වශයෙන් හෝ කායික වශයෙන් හෝ දුකට පත්වුවන්ට සුවයක් සලසා දීමට උන් වහන්සේ ඉදිරිපත් වූ සේක. එහෙත් උන් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් හෝ මිනිසත් බව ඉක්මවා ගිය පුද්ගලයකු හෝ නොවීය. ප්‍රාතිහාර්ය පිළිබඳව උන්වහ‍න්සේ තුළ විශ්වාසයක් නොවීය. ස්වභාව ධර්මයෙහි ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට යත්න දැරීමක් ද නොවීය. හේතුව හා ඵලය අතර පවත්නා අ‍න්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාව මිනිසුනට වටහා දීමට තැත් කළ උන් වහන්සේ අනිසි ප්‍රතිඵලයක් පිටු දකිනු සඳහා එහි හේතුව සොයා එය මුලසුන් කර දැමිය යුතුයයි උගන්වා වදාල සේක.

ජීවිතය තුළ සැනසිලි දායක තත්වයක් ලබාගත හැකි යයිද ඒ තත්වය මේ අත්බවයේ දීම මුළුමනින්ම අත් පත් කර ගත හැකි යයිද උන් වහන්සේගේ ඉගැන්වීමකි. එහෙත් එය දෙවියන්ට යාග පැ‍වැත්වීමෙන් හෝ යාච්ඥා කිරීමෙන් හෝ නොව නිරන්තර උත්සාහයෙන්ද ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්නා වූ තෘෂ්ණාව නැතිකර ගැනීමෙන් අත්පත් කරගත යුතු යැයි ද උන් වහන්සේ පෙන්වා දුන් සේක.

බුද්ධ දර්ශනය අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේය. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතුයයි” බුදුන් වහන්සේ වදාළ සේක.

කාලයාගේ අවෑමෙන් බුදු සමය කෙරෙහිද සම්ප්‍රදාය පූජා විධි ආදියෙන් ඇතැම් විට සිදු වූ බල පෑම නිසා නොයෙක් ගැටළු සහගත තත්වයන් මතු වුවද. බුදු රජාණන් වහ‍න්සේ විසින් තම ධර්මය ඉදිරිපත් කළේ පරීක්‍ෂණයට භාජනය කළ යුතු ක්‍රමයක් ලෙසය. උන් වහන්සේ මෙසේ වදාළ සේක. “ ඔබ ඔබම උත්සාහ කළ යුතුය. බුදුවරැ වනාහි මාර්ග දේශකයෝ පමණක් වෙති ” ධර්මය එතෙර යාම සඳහා පහුරක් මෙන් යොදා ගන්නා ලෙස උන්වහන්සේ දේශනා කළ සේක. තම අරමුණ වූ නිවන ලබාගත් මොහොතේ දී පහුර අත් හළ යුතුය. බුදුන් වහන්සේගේ අන්තිම වචනය මෙසේය “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”
Reactions: