දශ අකුශලයන් යනු මොනවාද?

සිතින් කයින් වචනින් සිදුවන අකුශල කර්ම දහයකි. ඒවා දශ අකුශලයන් ලෙස හඳුන්වයි. ඒවා නම්,

1.ප්‍රාණාති පාතය
2.අදත්තාදානය
3.කාම මිථ්‍යචාරය
4.මුසාවාදය
5.පිශුන වචනය
6.පරැෂ වචනය
7.සම්ප්‍රඵලාපය
8.අභිධ්‍යාව
9.ව්‍යාපාදය
10.මිථ්‍යා දෘෂ්ටිය

ඉදිරියට මේවායේ එක් එක් කරැණ ගැන විස්තර වශයෙන්ගෙන ඒමට බලා පොරොත්තු වෙමි. දහම් දැනුම නොමැත්තෝ ප්‍රඥාව ලබත්වා!

ප්‍රාණාතිපාත අකුශලය
පරමාර්ථ වශයෙන් ගත් විට "‍ප්‍රාණ" යනු එක් භවයකට ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්‍රිය පරම්පරාවයි "අතිපාත" යනු වහා හෙළීමයි. සරලව ගත් විට කිසියම් සත්වය‍කුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී යම් කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. මෙය බොහෝ සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි.

ප්‍රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය

1.පණ ඇති සතෙකු වීම
2.පණ ඇති සතෙකු බව දැනීම
3.මැරීමට සිත් පහළ වීම
4.මැරීමට උපක්‍රම කිරීම
5.ඒ උපක්‍රම නිසා මරණය සිදු වීම

මේ අංගයන් පහ සම්පූර්ණ නො‍වී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නෙවේ.යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි. ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා පොළව කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන සතුන්ගේ ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදු වේ.

යම් කිසි සත්වයකු මරන අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී මියගියේ නම් එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.වෙඩි වැදුන සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත අකුසලය සිදු වේ.මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්ම වැනි ක්‍රියාවකදී සත්වයකු මිය ගියද ‍අකුසල් සිදු නොවේ.

ප්‍රාණඝාතය සඳහා යොදන උපක්‍රම අනුව නැතහොත් ප්‍රයෝග අනුව ඒවා ආකාර හයකට බෙදිය හැක.

1.ස්ව හස්තික ප්‍රයෝග
මරනු සඳහා ගැසීම් කැපීම් ඇනීම් ආදී සියතින්ම කරන උපක්‍රමයන් මේ යටතට වැටේ

2.ආඥා ප්‍රයෝග
තමා විසින් සියතින්ම නොමරා අනෙකකු යොදවා කරනු ලබන උපක්‍රම. මේවා ‍සය ආකාර වෙයි.
(i) වස්තුව : මරනු ලබන සත්වයා වස්තුවයි. මරන්නට යෙදවු පුද්ගලයා අදාල සත්වයාම මරණ ලද නම් අණ කළ හා මැරැවා වූද දෙදෙනාටම අකුසලය සිදුවේ. වෙනත් සතෙකු මරන ලද නම් මැරැවාවූ අයට අකුසලය සිදුවේ අණ කළ තැනැත්තා නිදහස් වේ.

(ii) කාලය : රාත්‍රී කාලයේ මැරිය යුතු යයි අණ කළ විට කාලය වරදවා දිවා කාලයේ මරන ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය සිදු වේ.නියම කළ වෙලාවටම මරන ලද නම් දෙදෙනාටම අකුසලය හිමි‍ වෙයි.

(iii)අවකාශය : එනම් මැරීම කරන තැන. යම් තැනක සිටන සතෙකු එම ස්ථානයේදීම මැරීමට නියම කල විට වෙනත් ස්ථානයක දී මරණයට පත් කලේ නම් මැරෑ පුද්ගලයාට පමණක් අකුසලය හිමි වේ. උපදෙස් පරිදිම කරන ලද නම් දෙදෙනාටම අකුසලය සිදුවේ.

(iv) ආයුධය : පිහියකින් ඇණ මැරීමට නියම කල විට වෙඩි තබා මරණ ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය සිදුවේ. පිහියෙන්ම ඇණ මරණ ලද නම් දෙදෙනාටම අකුසලය අයිතිය.

(V) ඉරියව්ව : එනම් මරනු ලබන සත්වයා සිටින ඉරියව්වයි. නිදා සිටියදී මරන්නට කියු කල්හි ඇවිදින විට මරනු ලැබු වේ නම් ඝාතකයාට පමණක් අකුසල් සිදුවේ.

(Vi) ක්‍රියා විශේෂය : එනම් යොදන උපක්‍රමයයි. පහරදී මරන්නට නියම කළ විට වස පොවා මරණයට පත් කිරීම හේතුවෙන් උපක්‍රමය කළ තැනැත්තාට අකුසලය සිදුවේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.

3. නිස්සර්ගික ප්‍රයෝග
ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම,වෙඩි තැබීම ආදී වූ ක්‍රියා. මෙහිදී සත්වයකු මරනු පිණිස ස්ථාවර ප්‍රයෝගයක් කරනු ලැබූවිට මරන්නට බලාපොරොත්තුවූ සත්වයා මිය යාමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වේ. වෙනත් සතෙකු හසුවී මළ විට අකුසලය සිදු නොවේ. නියමයක් නැතිව ඇටවූ උගුල් ආදියට හසුවි කවර සතෙකු මිය ගියද ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුවහොත් ඒ වළ පවතින තුරැ එහි වැටී මියයන සත්වයකු පාසා අකුසල් සිදුවේ.

4.ස්ථාවර ප්‍රයෝග
උගුල් ඇටවීම, උල් සිටුවා තැබීම, තුවක්කු බැඳ තැබීම, බිම් බෝම්බ වළලා තැබීම යනාදිය

5.විද්‍යාමය ‍ප්‍රයෝග
රසායනික අවි ප්‍රහාර, විෂ වායු ප්‍රහාර, අංගම් පිඹීම්, සූනියම් කිරීම්, පිල්ලි යැවීම් ආදිය

6.සෘද්ධිමය ප්‍රයෝග
සමහර සත්වයන්ට අනුන් නැසිය හැකි සෘඬි උපතින්ම පිහිටා ඇත. ඔවුන් බොහෝ විට අමනුෂ්‍යයෝය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන්, බියගෙන දෙන වෙස් මවා පෙන්වීමෙන් මිනසුන් අතුළු සතුන් මැරීමේ හැකියාව ඇත.


මා පියන් මැරීම
තමාව මෙලොවට බිහි කළ දෙමාපියන් ගෙන් එක් අයකු හෝ දෙදෙනාම මරනු ලැබූ විට එය දෙවන ජාතියේදී නොවැරදීම විපාක දෙන අකුසලයක් බැවින් ආනන්තරිය කර්මයක් ලෙස එය සලකනු ලබයි. මනුෂ්‍යයකු විසින් නොදැන තම මව හෝ පියා මරණ ලැබූයේ නම් එහි දීද ආනන්තරිය අකුසලය සිදුවේ. එය පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය, චෞ‍ර චතුෂ්කය, සංග්‍රාම චතුෂ්කය, පලාල චතුෂ්කය වශයෙන් ආකාර පහක් දක්වා තිබේ.

1.ඒලක චතුෂ්කය : යම් කිසි තැනක දවල් එළුවෙක් නිදා සිටිනු දැක, රාත්‍රියේ ඌ මරන්නට සිතා ආයුධයක් ගෙන ගොස් සතාට පහර දෙන පිට එතන එළුවා නො‍මැතිව මව හෝ පියා සිට පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තරිය අකුසලය හිමි වෙයි. මව පියා මැරීමට සිතා පහර දුන් විට එහි එළුවෙකු සිට මිය ගියේ නම් පහර දුන් අයට ආනන්තරිය අකුසලය සිදු නොවේ.

2.චෞර චතුෂ්කය : රාත්‍රී කාලයේ සොරෙකැයි සිතා මව හෝ පියා මරන තැනැත්තාට අනන්තරිය අකුසලය සිදුවේ. මා පියන් යයි සිතා සොරෙකු මරන්නාට එම අකුසලය සිදු නොවේ.

3.සංග්‍රාම චතුෂ්කය : යුද්ධයකදී සතුරන් අතර පියා සිටිනු දැක "අනිත් සතුරන්ට පහර දුන් විට පියා පලා යති" සිතා සතුරන්ට පහර දෙන විට පියාට පහර වැදී මරණයට පත් වුවද එයින් ආනන්තරිය පාපය සිදු නොවේ. පහර දීම පියා මරනු පිණිස සිදුනොකරන ලද හෙයිනි. එහෙත් පියා ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබූ විට උණ්ඩය සිරැර විනිවිද ගොස් පියාට වැදෙන බව දැන වෙඩි තැබූ විට ඔහු මළේ නම් ආනන්තරිය අකුසලය සිදුවේ.

4.පලාල චතුෂ්කය : ආයුධය ශුඬ කර ගැනීමට පිදුරැ ගොඩකට ඇන්න විට මව හෝ පියා එහි සිට පහර වැදී මිය ගියේ නම් එහිදී ආනන්තරිය අකුසලය සිදු නොවේ.එහෙත් යම් කිසිවෙකු පිදුරැ ගොඩේ සිටින බව දැන දැන ඔහු මරමියි සිතා පිදුරැ ගොඩට ඇන්න විට මව හෝ පිය එහි සිට මිය ගියේ නම් ආනන්තරිය අකුසලය සිදුවේ.


දුකින් මිදවීම පිණිස සතුන් මැරීම
සමහරැ දුක් විඳින සතුන් දුකින් මිදවීමටය කියා සත්වයන් මරා දමයි. සත්වයාට තම ජීවිතයට වඩා ප්‍රිය ‍දෙයක් නොමැත. ඔවුන්ට එය නැති වීමට වඩා අන් දුකක් නැත කෙසේ හෝ පණ බේරා ගැනීමට සතුන් සැම විටම උත්සාහ කරයි. එබැවින් නිදහස් කිරීමට කියා සතෙකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කිරීමකි. දුකින් නිදහස් කිරීමටයි කියා සතුන් මරන අය තමන්ගේ මව හෝ පියා හෝ දරැවෙකු කොපමණ දුක් වින්දද මැරීමට ඉඩ නොහරියි.එයින්ම එම අදහස සාධාරණ අදහසක් නොවන බව පැහැදිලි වෙයි. කරැණා සහගත සිතින් කිසි කලක සතෙකු මැරිය නොහැක. සතකු මැරිය හැක්කේ ද්වේශ සහගත සිතකින්මය. ද්වේශ සහගත සිත සැම විටම අකුසලයකි. නිදහස් කිරීමටයි කියා කරැණාව ඇති වන්නේ බලවත් මෝහයෙන් ‍හා මඳ ද්වේශයෙන් යුතුවයි. චිත්ත චෙතසික ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නා අයට වැටහෙන්නේ එම ද්වේශ සහගත සිත කරැණා සහගත සිතක් ලෙසය. දුක් විඳින නිසා හෝ අන් කරැණක් නිසා හෝ සතෙකු මරණයට පත් කිරීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙයි.

සිය දිවි නසා ගැනීම
ද්වේෂ සහගත සිතින් කළ විට පාපයකි.එහෙත් එය දශ අකුසල කර්ම වලට අයත් වූ ප්‍රාණඝාත අකුසලයට අයත් නොවේ. තමාගෙන් අන්‍ය සත්වයකු මැරෑ විට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ. විනය පිටකයේ සඳහන් පරිදි භික්‍ෂුන් වහන්සේ නමක් මිනිසකු මැරැවහොත් පාරාජිකාවට පැමිණේ. සිය පණ නසා ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකටයි. සිය පණ හාණි කර ගැනීම හා පර පණ හාණි කිරීම යන දෙකෙහි විශාල වෙනසක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙයි.

ප්‍රාණඝාත අකුසලයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය
එනම් සිදුවන අකුසලයේ කුඩා බව විශාලත්වය මෙයින් පැහැදිලි කරයි. ප්‍රාණඝාත අකුසල් වල විපාක එක සමාන නොවේ මරනු ලැබූ සත්වයාගේ ගුණාගුණවල හැටියට, මැරීම කරන උපක්‍රමයන් ගේ හැටියට, ක්ලේශයන්ගේ හැටියට අකුසල් වල කුඩා බව විශාල බව තීරණය වෙයි. මරණ ලද සත්වයා ගුණවතකු වූ විට අකුශල කර්මය විශාල වෙයි. ගුණයෙන් අඩු අය මැරෑ විට කර්මය කුඩා වෙයි. මාපියන් හා රහතන් වහන්සේලාගේ ගුණ බොහෝ වෙයි. එබැවින් ඔවුන්ව මරණයට පත් කිරීම ආනන්තරිය අකුසල කර්මයට හේතු වෙයි. බුදු වරයන් වහන්සේලාගේ ජීවිත නැසිය නොහැකි බැවින් බුඬඝාත කර්මයක් නැත. මරනු ලබන සත්වයන් ගුණයෙන් සමවූ විට මහා ශරීර ඇති සත්වයා මැරීම වැඩි අකුසල විපාක ලැබීමට හේතු වෙයි මහා ශරීර ඇති සතකු මැරීමට විශාල උපක්‍රමයක් දැරීමට සිදුවීම එයට හේතුවයි. උපක්‍රමය අල්ප නිසා කුඩා සතකු මැරීමෙන් ලැබෙන අකුසල විපාකය කුඩා වෙයි. මැරීමේදී ඇතිවන ක්‍රෝධය වැඩි විට විපාකය වැඩිවෙයි ක්‍රොධය මඳ විට විපාකය අඩුයි.

ප්‍රාණඝාත අකුස‍ලයේ විපාක
ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි, ප්‍රේත ලෝකයෙහි, තිරිසන් ලෝකයෙහි, උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි. එවිට අඩු ආයුෂ වලන් ‍මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයා වෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිව උපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නෙමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක් වෙයි.පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වී පිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.

4 Response to "දශ අකුශලයන් යනු මොනවාද?"

  • පොතේ ගුරා Says:

    බොහොම පිං..වටිනා ලිපියක්...


  • සරත් ගුණතුංග Says:

    ලාමක බොළඳ දේවල් ගැන ලියැවෙන විකෘති සමයෙක, මෙවන් වැදගත් මානව සංහතියේ දියුණුව සඳහා ලියවුනු ඔබේ ලිපිය ඉතාමත් අගය කරමි. එසේම මේ වගේ ලිපි අපේ බාල පරම්පරාව වෙනුවෙන් රචනය කරන ලෙසද ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි


  • Narada Says:

    සාවකෝ නම් කෙනෙකු ලියනා ලිපියත් සරත් වෙද මහතාගේ ලිපිත් ජයන්ත මහතාගේ ලිපිත් හැරෙන්න මා කියවනා ලිපියක්. දිගටම ලියන්න, හැකි නම් ලියන ශෛලිය තවත් සැහැල්ලු කරන්න.

    තේරුවන් සරණයි, සුභ සිංහළ දෙමළ අවුරුද්දක් වේවා!


  • ෴ .:GiniMakara :.෴ Says:

    ලිපි ලිවීමට මා දිරිමත් කළ ඔබ සියළු දෙනාට බොහොම පින් සියළු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා!


Post a Comment