සිදුහත් තවුසාණෝ සත්‍ය සොයා යාම

බුද්ධ දර්ශනය පහළ වුයේ ඉන්දියාවේ උතුරැ ප්‍රදේශයේදීය. එකල බුදු දහම මුළු ආසියාව පුරාම පැතිර පැවතුනි. එදා සිට මේ දක්වා කාලය තුල මෙම දර්ශනයට එක් එක් රටවල පැවති පාරම්පරික විශ්වාස හා ඇදහිලි මිශ්‍රවිය. එය යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵල ඇති කිරීමටද හේතු විය.බුද්ධ යන පදය වටහාගත් තැනැත්තා නොහොත් පිබිදීමට පත් තැනැත්තා යන අර්ථය ගෙන දෙන පූර්ණ අවබෝධයකින් සමන්විත තත්වයක් ලබාගත් සිද්ධාර්ථ ගෞතම නම් භාරතීය කුමාරයකු හැඳින්වීමට යොදන ලද නාමයකි. බුදුන් වහන්සේ මිනිස් බවෙන් වෙනස් වූ පුද්ගලයකු ලෙස තමන් වහ‍න්සේ විසින් කිසිවිටකත් හඳුන්වා නොදෙන ලදී.

උන්වහන්සේ දේශනා කළ ධර්මය මිනිසා විසින් විඳින දුක පිළිබඳ ප්‍රශ්නය වටා ගොඩ නැගී ඇත. බාහිර හෝ ස්වාභාවිකත්වය ඉක්මවා ගිය හෝ කිසියම් බලවේගයක පිළිසරණක් නොපතා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් එම දර්ශනයෙන් මිනිසාට පෙන්වා දෙයි. බුද්ධ මාර්ගය වැටී තිබෙන්නේ අවබෝධයෙන් පසක් කළ යුතු දර්ශණයක් සහ ඒ අවබෝධය තුලින් ඇතිවන බිය සහ දුක යන මේවායින් ලබන නිදහස වෙතය.බුදුන් වහන්සේ සිතීම සඳහා මුළුමනින්ම නිදහස පැවතීමේ වැදගත්කම ද ඉන් තොරව සත්‍යය හෝ ප්‍රඥාව පහළ විය නොහැකි බවද වීර්යය වැඩිය නොහැකි බවද අවධාරණයෙන් ප්‍රකාශ කළ සේක.

“අනුක්‍රමය ක‍රණ කොට හෝ පරම්පරාවෙන් පවතින නිසා හෝ ප්‍රවාදය නිසා හෝ පිටක සම්ප්‍රදාය උඩ හෝ තර්ක හේතුවෙන් හෝ න්‍යාය හේතුවෙන් හෝ ආකාර පරිවිතර්ක මඟින් හෝ සැලකිල්ලට භාජනය කරන ලද කිසියම් දෘෂ්ටියක් කෙරෙහි පහළ වුණු පක්‍ෂපාතීත්වය නිසා හෝ කෙනෙකු පිළිබඳව පෙනී යන හැකියාව නිසා හෝ ශ්‍රමණ තෙමේ අපගේ ගුරැවරයා යයි සිතා හෝ යමක් නො පිළිගත යුතුය. මේ ධර්ම කුසල් යයිද මේ ධර්ම නිවැරදි යයිද මේ ධර්ම ණුවනැත්තන් විසින් පසසනු ලැබේ යයි ද අනුගමනය කිරීමෙන් හා සමාදන් වීමෙන් හිත පිණිසද, සුව පිණිසද හේතුවන්නේ යයි ඔබටම වැටහෙන්නේ නම්, එවිට ඒවා පිළිගෙන ඒ අනුව පිළිපදින්න

ක්‍රි. පූ . 563 දී වෙසක් මස පුර පසළොස්වක් පුන් පොහෝ දින දඹදිව උතුරැ සීමාව අසල පිහිටි ලුම්බිනි නම් උයනේ දී සිද්ධාර්ථ ගෞතමයන් ව‍හන්සේ මෙලොව එළිය දකින ලදී. උන්වහන්සේ ගේ පියාවූ ශුද්ධෝදන රජතුමා හිමාලය පර්වතය පාමුල පිහිටි රාජධානියක් වූ ශාක්‍ය ජනපදයෙහි පාලකයා විය. (පසු කාලයේ දී ගෞතමයන් වහන්සේ හඳුන්වන ලද නම් රාශිය අතරින් එකකි ශාක්‍යමුනි නාමය. එහි අර්ථය ශාක්‍යයන්ගේ මුනිවරයා හෙවත් බුද්ධිමත් පුරැෂයා යනුයි.) උන්වහ‍න්සේගේ මව මහමායා දේවිය නම් වුවාය.

ළදරැ කුමාරයාණන් ගේ උපතද මුල් අවධියෙහි දී එතුමාණන් හැදුණු වැඩුණු අයුරැ ද පිළිබඳ ව අද්භූත කථා ප්‍රවෘත්ති රාශියක් පහළ වී ඇත. මෙබඳු වෘත්තාන්ත ගොඩනැගී යාම ආගමික නායකයන් නිරතවන කාර්ය භාරය හා සම්බන්ධව බැඳී පවත්නා සිද්ධියකි. එසේ වුවද බෙහෙවින් සරල වූ වාර්තා වල හුදෙක් සඳහන් වන්නේ ආදර්ශවත් බාල කාලයකින් පසුව සිදුහත් ගෞතමයන් වහන්සේ රණ ශූරයකුට අයත් කාය බලයකින්ද ප්‍රාඥයකුට හිමි බුද්ධි බලයකින්ද සමන්විතවූ උසස් හැදියාවෙන් යුතු තරැණයක් බවට පත්වී සිටි බවකි. දහසය වන වියට පා තැබූ එතුමාණෝ ඥාති සහෝදරියක වූ අතිශය රෑමත් යශෝදරා නම් කුමරිය සරණ පාවා ගත්හ. ‍ඔවුන් දෙදෙනාට දාව රාහුල නම් පුත් කුමරකු මෙලොවට බිහිවිය.

විසි නමවන වියේදී සිදුහත් ගෞතමයන් ව‍හන්සේ සිය රජ මැදුර, යොවුන් බිසව හා අළුත උපන් දරැ සිඟිත්තා ද හැර දමා ගිහිගෙයින් අබිනික්මන් කොට තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට පිවිසීමේ පුවත කල් යාමේදී සුරංගනා කතාවෙන්ද ජනකථා වෙන්ද මිශ්‍රවී වැඩී ගියේය. එහෙයින් එතුමාගේ ජීවිතය ගැන සරළ වාර්තාවකින් මෙසේ විස්තර කළ හැකිය. තිස් වසරකට ආසන්න කාලයක් මේ තරැණ කුමාරයාණන් ආරක්ෂාද සංවිධාන සැලසීමෙන් පාලනය කරන ලද පරිසරයක් යටතේ දිවි ගෙවූ නමුත් උපභෝග පරිභෝග සම්පත්තියෙන් අතිශය ආඪ්‍යවූ ජීවිතයක් ගත කළහ. එතුමාණන් උපත ලද පවුල සම්පත්තියෙන් සමෘද්ධිමත් ද ආචාර සමාචාරයෙන් ශිෂ්ට සම්පන්නද විය. සිය සිත් ඇදී ගිය කායික වූ ද බුද්ධිමත් වූ ද විවිධ අංශ කෙරෙහි උ‍ද්‍යෝගයෙන් නිරත වීම සඳහා එතුමාණන්ට අනුබලය නොඅඩුව ලැබිණි. සතුට ගෙන දිය හැකි හැම සුව පහසුවක් ද රැකවරණයක්ද එතුමාණන්ට සැපයිණ. එහෙත් තමන් අවට දක්නට ලැබුණු ආපදා සම්පන්න පීඩාකාරී පරිසරය නිසා එතුමාණෝ විටින් විට කැළඹීමට පත් විය. එයින් තමාට ගත කරන්නට ලැබුණු ජීවන ක්‍රමය අසාර වූවක්ය යන සැකයක් එතුමාණන් තුළ පහල විය. මේ නිසා එතු‍මාණෝ එකල නුවණැත්තන් ලෙස මහත් කීර්තියට පත්ව සිටියවුන් ගේ අවවාද හා අනුශාසනා පතා ඔවුන් වෙත ගියහ. එහෙත් තමන් ගේ ප්‍රශ්ණ වලට පිළිතුරැ ඔවුන් තුළ නො පැවති බව එතුමාට පසක් විය.

තමන් ගේ සිත් තුළ පහළ වූ නො සන්සුන් කම නිසා ගහි ගෙය අත් හැර දමා කිසිදු වස්තුවකට හිමිකම් නොදරන තවුස් දිවියකට එළඹීම සඳහා ගත් තීරණය අද වැනි දිනක පුදුමයක් ලෙසත් ඇතැම් විට වගකීමෙන් තොර ක්‍රියාවක් ලෙසත් පෙනී යා හැකිය. එහෙත් මීට සියවස් කිහිපයකට පෙර ඉන්දියාවේ එය අසාමාන්‍ය සිද්ධියක් නොවීය. ගෞතමයන් වහනසේ පිළිබඳ කථා ප්‍රවෘතීන් අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එතුමාණන් ගිහි ගෙය අත් හැර දැමීම නිසා නොව මිනිසාගේ දුකටත් අසහනයටත් හේතුව හා ප්‍රතිකාරය සොයනු වස් දැක් වූ අප්‍රතිහත ධෛර්යය නො පිරිහෙලා ගෙන යාමේ ප්‍රතිඑලයක් වශයෙන් එතුමාණන් තවුස් දිවි පෙවත ද බැහැර කිරීම නිසාය.

ආරම්භයේ එතුමාණන් අනුගමනය කළ ක්‍රියාමාර්ග බොහෝ දුරට ගතානුගතික විය. එතුමාණෝ තම රටවැසියන් ඇදහූ බමුණු දහම අණුව මහත් ප්‍රාමාණිකත්වයෙන් සලකන ලද බමුණන්ගේ උපදෙස් සොයා ගියහ. එහෙත් එතුමාණන් සෑහීමකට පත් වන අයුරින් කරැණු පහදා දීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන් අතරින් කිසිවෙක් සමත් නොවූහ. සිත කය දෙකට පැමිණෙන දුකෙන් ගැලවීම සඳහා සිරැර පීඩා‍වට පත් කරමින් තවුස් දම් රැකීම එකල පිළිගත් ප්‍රතිපත්තියක් විය. එහෙයින් එතුමාණෝද ඒ ක්‍රමය අත්හදා බැලූ හ. ගයාව අසල පිහි‍ටි උරැවෙල් වනයේ දී මාරාන්තික ලෙස තවුස් දම් රකිමින් උන් වහන්සේ හය වසරක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ. උග්‍ර ලෙස අනුගමනය කළ තවුස් දම් කරණ කොට ගෙන චිත්ත ශාන්තිය හා චිත්ත පාරිශුද්ධිය ලැබෙනු වෙනුවට තමන් ගේ නිරෝගි භාවය විනාශවීමද චින්තන ශක්තිය දුර්වල වීමද සිදුවූ අයුරැ උන්වහන්සේට එකවර වැටහිණ. කාම සුඛල්ලිකානුයෝගය අබිනික්මන මගින් අත්හැර දැමුවාක් මෙන් එතුමාණෝ මෙහිදී අත්තකිලමථානුයෝගයද බැහැර කිරීමට තීරණය කළහ. උන් වහ‍න්සේගේ සහාය සඳහා පැමිණි තවුසන්ගේ ප්‍රසාදයට එය හේතු නොවීය. එහෙත් එතුමා‍ණෝ අන්ත දෙකෙන්ම තොර වූ මධ්යනම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ වැදගත්කම වටහා ගත්හ. යළිත් ආහාර අනුභව කිරීමෙන් සිය සිරැර ප්‍රකෘතිමත් කර ගත් එතුමාණෝ ගසක් මුල වැඩ හිඳ භාවනා වැඩීම ඇරඹූහ. මුළු රැය මුළුල්ලේ අප්‍රතිහත වීර්යයයෙන් බවුන් වැඩීමෙහි නියැලුණු උන් වහන්සේ පසු දිනට පහන් වනවිට සිය ධර්මයෙහි පදනම වශයෙන් සැලකෙන කරැණු දෙකක් එනම් දුක ඇත්තේය යන සත්‍යයද ඉන් මිදීම සඳහා මගක්ද ඇත්තේය යන සත්‍යයද අවබෝධ කරගත් සේක. ඒ වනාහි අන්ත දෙකෙන් බැහැරව ගමන් කළ හැකි මධ්‍යම මාර්ගයක් විය. උන් වහන්සේ ඉතිරි පන්සාළිස් වසර තුළ උපදෙස් සොයා තමන් වෙත පැමිණි සියළු දෙනාට මේ මධ්‍යම මාර්ගය පහදා දෙමින් සංචාරක පැවිද්දෙකු ලෙස කල් ගෙවූ සේක.

බුද්ධත්වය ලබාගත් පසු උන්වහන්සේ පළමුවරට සැපත්වූ බරණැස් නගරය වනාහි හින්දු බැතිමතුන්ගේ පූජා නගරය විය. එම නගරය අසල පිහිටි සාරානාත් හි මිගදායේ දී උන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වන ලදී. උන්වහන්සේගේ ධර්මයෙහි වූ සිව් වැදෑරැම් ව්‍යුහය සරල ලෙස මෙහි ඉදිරිපත් කොට ඇත. එය ආර්ය සත්‍ය සතර ලෙසින් හඳුන්වයි.
එනම්,
1. දුක ඇත්තේය යන සත්‍යය
2. දුකට හේතුවක් ඇත්තේය යන සත්‍යය
3. දුක නැතිකළ හැක්කේ ය යන සත්‍යය
4. දුක නැති කිරීම සඳහා මාර්ගයක් ඇත්තේය යන සත්‍යය

සියළුම සැබෑ ආගමික නායකයින් මෙන් බුදුන් වහන්සේද තෘෂ්ණාව ලෝභය හා ඊර්ෂ්‍යාව පෞද්ගලික වූද සාමාජයීය වූද දුකට බෙහෙවින් තුඩූ දෙන්නේ යයි ඉගැන්වූ සේක.සතුන් බිලි දී පැ‍වැත්වෙන ඊනියා ආගමික පූජා විධි අවඥාවට ලක් කළ සේක. ශාස්තෘ වර‍යකු වශයෙන් උන් වහන්සේ ධනවතුන්ට හා බලවතුන්ට මෙන්ම දිළින්දන්ට හා දුබලයන්ටද එකසේ දහම් දෙසූ සේක. කුල හේදයෙහි පැවති පන්ති විෂමතා නොතැකූ උන් වහන්සේ උසස් කුලයන්හි උපන්නවුන්ට මෙන්ම කසළ ශෝධකයන්ටද පිහිටවූ සේක. තමන් අනුගමනය කිරීමට රිසි වූ හැම කෙනෙකුම තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ඇතුළත් කර ගත් සේක. මානසික වශයෙන් හෝ කායික වශයෙන් හෝ දුකට පත්වුවන්ට සුවයක් සලසා දීමට උන් වහන්සේ ඉදිරිපත් වූ සේක. එහෙත් උන් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් හෝ මිනිසත් බව ඉක්මවා ගිය පුද්ගලයකු හෝ නොවීය. ප්‍රාතිහාර්ය පිළිබඳව උන්වහ‍න්සේ තුළ විශ්වාසයක් නොවීය. ස්වභාව ධර්මයෙහි ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට යත්න දැරීමක් ද නොවීය. හේතුව හා ඵලය අතර පවත්නා අ‍න්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාව මිනිසුනට වටහා දීමට තැත් කළ උන් වහන්සේ අනිසි ප්‍රතිඵලයක් පිටු දකිනු සඳහා එහි හේතුව සොයා එය මුලසුන් කර දැමිය යුතුයයි උගන්වා වදාල සේක.

ජීවිතය තුළ සැනසිලි දායක තත්වයක් ලබාගත හැකි යයිද ඒ තත්වය මේ අත්බවයේ දීම මුළුමනින්ම අත් පත් කර ගත හැකි යයිද උන් වහන්සේගේ ඉගැන්වීමකි. එහෙත් එය දෙවියන්ට යාග පැ‍වැත්වීමෙන් හෝ යාච්ඥා කිරීමෙන් හෝ නොව නිරන්තර උත්සාහයෙන්ද ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්නා වූ තෘෂ්ණාව නැතිකර ගැනීමෙන් අත්පත් කරගත යුතු යැයි ද උන් වහන්සේ පෙන්වා දුන් සේක.

බුද්ධ දර්ශනය අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේය. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතුයයි” බුදුන් වහන්සේ වදාළ සේක.

කාලයාගේ අවෑමෙන් බුදු සමය කෙරෙහිද සම්ප්‍රදාය පූජා විධි ආදියෙන් ඇතැම් විට සිදු වූ බල පෑම නිසා නොයෙක් ගැටළු සහගත තත්වයන් මතු වුවද. බුදු රජාණන් වහ‍න්සේ විසින් තම ධර්මය ඉදිරිපත් කළේ පරීක්‍ෂණයට භාජනය කළ යුතු ක්‍රමයක් ලෙසය. උන් වහන්සේ මෙසේ වදාළ සේක. “ ඔබ ඔබම උත්සාහ කළ යුතුය. බුදුවරැ වනාහි මාර්ග දේශකයෝ පමණක් වෙති ” ධර්මය එතෙර යාම සඳහා පහුරක් මෙන් යොදා ගන්නා ලෙස උන්වහන්සේ දේශනා කළ සේක. තම අරමුණ වූ නිවන ලබාගත් මොහොතේ දී පහුර අත් හළ යුතුය. බුදුන් වහන්සේගේ අන්තිම වචනය මෙසේය “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”
Reactions: 


1 Response to "සිදුහත් තවුසාණෝ සත්‍ය සොයා යාම"

  • kawshalatec Says:

    ඔබට කපිලවස්තුවේ දැන් තත්වය මෙතැනින් බලන්න පුළුවන්.
    http://kawshalatec.wordpress.com/2009/03/22/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/


Post a Comment